ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2021 ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 24.7 ක ආදායමක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසරට සාපේක්ෂව 14.3% ක සුවිශේෂී වර්ධනයක් සහිතව බදු පසු ලාභය රු. බිලියන 2.1 ක් ලෙස වාර්තා කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සිය මූල්‍ය ප්‍රතිඵල, 2021 පළමු කාර්තුව සඳහා නිකුත් කර ඇත.

අදාළ කාලසීමාව තුළ සමූහයේ ආදායම රු. බිලියන 24.7 ක් දක්වා වර්ධනය වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 11.4% ක වර්ධනයකි. ෆයිබර් තාක්ෂණික සේවා, 4G LTE, ජංගම අන්තර්ජාල සේවා, PEO TV සේවා මෙන්ම ධාරක දේශීය (Carrier Domestic) සේවාවන් වල ප්‍රගතිය මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ජාත්‍යන්තර ඇමතුම් ආදායම් වල පහළ යාමක් වාර්තා වන අතරම, ගෝලීය අන්තර් සේවා (Global Transit) සහ ගෝලීය දත්ත සේවාවන් පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ මෙහෙයුම් ඉපයුම් ආන්තිකය (Earnings Before Interest, Tax, Depreciation and Amortisation – EBITDA) රු. බිලියන 9.7 ක, එනම් 13.6% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ 38.6% ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකය ද මෙම මූල්‍ය ප්‍රකාශයට අදාළ කාලසීමාවේදී 39.4% ක් ලෙස වර්ධනය වී ඇත. ගෝලීය තාක්‍ෂණික ප්‍රවණතා සමග සමපාත වීම සඳහා දරන ලද ප්‍රාග්ධන වියදම් ක්‍රමයෙන් ඉහළ යාම, සමූහයේ ක්ෂයවීම සහ ලියාහැරීම් රු. බිලියන 6.3 දක්වා වැඩි කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 18.0% ක වැඩිවීමකි.

අදාළ කාලසීමාව තුළ ක්ෂය වීම් හා ලියාහැරීම් ඉහළ ගිය නමුත්, සමූහයේ EBITDA මට්ටම වර්ධනය වීම හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 6.3% කින් වර්ධනය වී රු. බිලියන 3.4 මට්ටමට පැමිණ තිබේ. ලාභ හෝ අලාභ ප්‍රකාශයට අය කරන ලද පොලී වියදම් හා මූල්‍ය පිරිවැය අදාළ කාලසීමාව තුළ රු. බිලියන 0.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, විදේශ විනිමය අලාභ රු. බිලියන 0.3 දක්වා පහළ ගොස් තිබේ. පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම කාර්තුවේදී බදු පෙර ලාභය රු. බිලියන 2.8 දක්වා, එනම් 9.3% කින් වර්ධනය වී ඇත.

මෙහෙයුම් ඉපැයුම් මට්ටමේ (EBITDA) වර්ධනය සමග සාර්ථක හිඟ මුදල් එකතු කිරීමේ ක්‍රමෝපායන් නිසා, මෙම විශ්ලේෂණයට අදාළ කාලසීමාව තුළ, සමූහයේ මෙහෙයුම් මුදල් ප්‍රවාහය තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වී, රු. බිලියන 12.2 මට්ටමට පැමිණ තිබේ. එමෙන්ම, වාර්තා කරන දිනය වනවිට, දීර්ඝකාලීන ණය ගැනීම් රු. බිලියන 44.9 දක්වා අඩුකර ගැනීමට සමූහය සමත් වී ඇත.

සමූහයේ පරිපාලක සමාගම (Holding company), පසුගිය වසරේ අදාළ කාලපරිඡේදයට සාපේක්ෂව ආදායම 13.5% කින්, එනම් රු. බිලියන 14.2 දක්වා වර්ධනය කරගෙන තිබේ. සමාගමේ බදු පසු ලාභය රු. බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය පෙර වසරට සාපේක්ෂව 16.2% ක වර්ධනයකි.

SLT සමූහ ව්‍යාපාරයේ ජංගම දුරකථන සේවා අංශය වන මොබිටෙල් (පුද්.) සමාගමද, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ආදායමේ 8.1% ක් වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වී ඇති අතර, මෙම කාර්තුව තුළ එම සමාගමේ ආදායම රු. බිලියන 11.6 කි. ආදායම වැඩිවීම සහ කාර්යක්ෂම වියදම් කළමනාකරණ ක්‍රමවේද භාවිතා කිරීම හේතුවෙන් මොබිටෙල් සමාගමේ බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 65.4% ක් වැනි විශාල ප්‍රතිශතයකින් වැඩිවී, රු. බිලියන 1.5 මට්ටමට පැමිණ තිබේ.
2021 වසරේ ප්‍රථම කාර්තුව තුළ සමූහය විසින්, අයබදු ඇතුළුව සෘජු හා වක්‍ර බදු ලෙස ශ්‍රී ලංකා රජයට රු. බිලියන 3.7 ක මුදලක් ගෙවා ඇත.

SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වී ය:

“තවත් කාර්තුවකදී මේ ආකාරයට සාර්ථක ප්‍රතිඵල වාර්තා කිරීමට අපගේ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සමත් වීම මට මහත් ආඩම්බරයක්. ආදායමේ සහ ලාභයේ ද්විත්ව ඉලක්කම් වර්ධනයක් සහ ශක්තිමත් මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් සමගින් ප්‍රථම කාර්තුව තුළ අපගේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව ඉදිරියට ගමන්කර තිබෙනවා. මෙම කාර්තුවේ මෙතරම් සාර්ථකත්වක් අත්පත් කරගැනීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ, SLT-MOBITEL පොදු සන්නාමකරණය යටතේ අපගේ සමූහයේ විකුණුම් හා අලෙවි කටයුතු ඒකාබද්ධ කිරීමයි. COVID-19 නිසා මතුවන අවිනිශ්චිතතා එලෙසම පැවතියත්, අපගේ ආයතනික වර්ධනය කෙරෙහි තවදුරටත් අවධානය යොමුකරමින්, වාසිදායක වෙළඳපොළ ප්‍රවණතා වලින් ප්‍රයෝජන ලබමින්, මෙහෙයුම් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරගනිමින් සහ සියලුම පාර්ශ්වකරුවන්ට වටිනාකම් තිළිණ කරමින් ඉදිරියට යාම අපගේ ඉලක්කයයි.”

SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා අදහස් දැක්වූයේ මෙසේ ය:
“මෙම ප්‍රථම කාර්තුවේ ප්‍රතිඵල වලින් පෙනී යන්නේ අප 2021 වසරට බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබාගෙන ඇති බවයි. අප මේ වසර ආරම්භ කළේ SLT සහ MOBITEL සන්නාම දෙක ඒකාබද්ධ කරමින් වන අතර, එය SLT සමූහය සනිටුහන් කළ තවත් එක් ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඩිජිටල් පරිවර්තනය කරා දිවෙන SLT සමූහයේ ක්‍රමෝපායික ඉදිරි ගමන, දැනට පවතින වසංගත රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයක් බව සනාථ වී තිබෙනවා. ඒ වගේම මෙම තත්ත්වය අපට එදිනෙදා ජීවිතයේදී තාක්ෂණය කෙතරම් වැදගත් කාර්ය භාරයක් ඉටුකරන්නේද යන්න මනාව පෙන්වා දී තිබෙනවා. ශක්තිමත් ව්‍යාපාරකරණය සහ ආකර්ෂණීය සේවා එකතුව නිසා, COVID-19 හේතුවෙන් ඇතිවූ අභියෝග හමුවේ පවා නොසැලී සිටීමට අපට හැකිවී තිබෙන බව පැහැදිලියි.”

SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා මෙසේ පැවසී ය:
“රටපුරා අධිවේගී Fibre-to-the-Home (FTTH) සම්බන්ධතා ලබාදීම සඳහා අප මේ වනවිට අධිවේගී ෆයිබර් ව්‍යාප්තකරණ වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් සිටිනවා. මේ වසර අපට සුවිශේෂී වසරක්. SLT සහ එහි ජංගම දුරකථන සේවා අංශය වන මොබිටෙල් එක්වී, 2021 වසරේ මැද භාගය වන විට වඩාත් ඉහළ තලයේ බ්‍රෝඩ්බෑන්ඩ් අත්දැකීමක් ලබාදීම සඳහා අපගේ දැනට පවතින 4G ජාලය පුළුල් කිරීමේ හා වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරමින් සිටිනවා මෙන්ම 3.5 GHz භාවිතයෙන් පූර්ව-වාණිජ 5G සේවාව දියත් කිරීමටද කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම, තත්පරයකට ටෙරා බිට් මට්ටමේ වේගයකින් ලෝකය හා සම්බන්ධ වීම සඳහා, ඉදිරියේදී සිදුකිරීමට නියමිත SEA-ME-WE 06 මුහුද යට දිවෙන සංදාම පද්ධතිය ඇතුළුව අපගේ ගෝලීය ජාලය පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. දේශීය හා ජාත්‍යන්තර ජාල පුළුල්කරණ වැඩසටහන් වලට අමතරව, පාරිභෝගික අත්දැකීම හා සේවා මට්ටම් දිගින් දිගටම වැඩිදියුණු කිරීම සඳහා, ඩිජිටල් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතයි.”

SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නෑන්ඩස් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය:
“පවතින COVID-19 තත්ත්වය හමුවේ ජාතියට අඛණ්ඩ සේවාවක් ලබාදීමට SLT සමාගම කටයුතු කළා. එමෙන්ම නිවසේ සිට රාජකාරි කිරීමේ සහ අධ්‍යාපන කටයුතු සිදුකිරීමේ ප්‍රවණතාවට සහයෝගය දීමක් වශයෙන් නිර්මාණශීලී, එමෙන්ම සහනදායී දත්ත පැකේජ හඳුන්වා දීමට අප පියවර ගත්තා. ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම වේගවත් කිරීම සඳහා, Cisco සහ Millennium I.T.E.S.P. (පුද්.) සමාගම සමග එක්වී නව Managed SD-WAN සේවාවන් හඳුන්වා දීමටත් අපට හැකිවුණා. මීට අමතරව, අපගේ ජංගම දුරකථන සේවාවන් භාවිතා කරන්නන්ට තම ප්‍රියතම රූපවාහිනී වැඩසටහන් වඩාත් පහසුවෙන් නැරඹීමට අවස්ථාව ලබාදීම සඳහා PEO TV Go සේවාව හඳුන්වා දීමටත් SLT-MOBITEL කටයුතු කළා.”

මොබිටෙල් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා මෙසේ සිය අදහස් පළකළේ ය.
“දැනට පවතින වසංගත රෝග ව්‍යාප්තිය නිසා මුළු ලොවටම අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මෙවැනි කාලයකදී අතිශයින් වැදගත් සේවාවන් සලසන SLT-MOBITEL, පවතින තත්ත්වයන් හමුවේ තම පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමට කටයුතු කළා. ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරුවා ලෙස, SLT හි ජංගම දුරකථන සේවා අංශය වන මොබිටෙල්, මේ දුෂ්කර කාලසීමාවේදී කිසිවෙකුටත් අඩුපාඩුවක් සිදු නොවන ලෙසට, තම ජාලය ග්‍රාමීය ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කිරීමට ඉක්මනින් පියවර ගත්තා. සැමදෙනාටම අන්තර්ජාල සේවාවන් ලබාගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා වැඩසටහන් රැසක් මේ කාලය තුළදී ක්‍රියාත්මක කෙරුණා. සුහුරු ෆෝන් (Smartphones) භාවිතය පුළුල් කිරීම අරමුණු කරගත් සහනදායී බහු-උපාංග දීමනා, යෙදුම් (Apps) පදනම් කරගත් ආකර්ෂණීය දත්ත සැලසුම්, නිවසේ සිට රාජකාරි කිරීමේ හා ඉගෙනුම් කටයුතු වල නිරත වීමේ අවස්ථාව සලසා දෙන බ්‍රෝඩ්බෑන්ඩ් සැලසුම් ආදිය, සමාජයේ සියලුම කාණ්ඩ වලට ඔවුන්ගේ අවශ්‍යතා අනුව බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහනදායී ලෙස ලබාදීම සඳහා හඳුන්වා දුන් වැඩසටහන් අතරින් කිහිපයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ආකාරයට බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සියලුම දෙනා වෙනුවෙන් විවෘත කරන අතරම, මේ දුෂ්කර කාලසීමාවේදී මුළුමහත් රටටම බාධා රහිත සේවාවක් ලබාදීමට SLT-MOBITEL කැපවී සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *