අගමැති උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි අග්‍රාමාත්‍යතුමා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට මෙහි දී උපදෙස් ලබා දුන් අතර මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන්නැයි ද කියා සිටියේය.

ගිනිගත් නෞකාවේ බලපෑමට ලක්වන මුහුදු තීරයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාට දැනුම් දුන්නේය.

සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින නාවික හමුදාව ඇතුළු සියලුම දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව ද අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන්වන නාලක ගොඩහේවා, කංචන විජේසේකර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *