INSEE සිමෙන්ති සමාගම ලෝක පරිසරය දිනයේදී ප්‍රතිස්ථාපිත දේශයක් සඳහා කැපවීම යළිත් තහවුරු කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ලෙස ඒකාබද්ධ වූ සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති සමාගම ‘ප්‍රතිස්ථාපිත දේශයක්’ (‘A Restored Nation’) සඳහා වන සිය කැපවීම නැවතත් තහවුරු කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

2021 ලෝක පරිසරය නිමිත්තෙන්, හානියට පත්වී ඇති පරිසර පද්ධති නැවත යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මතුවී ඇති දැඩි උනන්දුවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙය සිදුකරන ලදි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය ගෝලීය දේශගුණික ඉලක්ක කරා ගෙන යාමේ උත්සාහය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටින INSEE සිමෙන්ති සමාගම, දිවයින පුරා ව්‍යාප්තව ඇති විවිධ පරිසර පද්ධති සංරක්ෂණය සඳහා වූ කැපවීම දෙගුණ කරමින්, ‘පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ දශකයේ’ (‘UN Decade on Ecosystem Restoration’) ආරම්භය සනිටුහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින්, INSEE සිමෙන්ති සමාගමේ සංවිධාන හා මානව සම්පත් අධ්‍යක්ෂ චන්දන විජයනාම මහතා මෙසේ පැවසී ය. “පරිසර සංරක්ෂණය සඳහා අපගේ උත්සාහයන් පැන නගින්නේ පරිසර පද්ධතිවලට හානි සිදුවීමේ ඉඩකඩ වැළැක්වීම, දැනටමත් සිදුවෙමින් පවතින හානි නැවැත්වීම සහ ආපසු හැරවීම සඳහා පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාව තේරුම් ගැනීම තුළිනුයි. ස්වාභාවික සම්පත් සමග අතිශයින් සමීප ලෙස සම්බන්ධ වී ඇති ව්‍යාපාරයක් වශයෙන්, INSEE සිමෙන්ති සමාගම ආරම්භයේ සිටම තිරසාර නිෂ්පාදන හා වගකිවයුතු ව්‍යාපාරික භාවිතාවන් තුළින් පාරිසරික බලපෑම අවම කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන්, අපගේ පරිසර පද්ධති සුවපත් කිරීම, ස්වාභාවික වාසස්ථාන වැඩිදියුණු කිරීම, පාංශු හා ජල සම්පත් ආරක්ෂා කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත් ලෙස මුහුණ දීම සඳහා අපගේ ප්‍රජාවන්ට සහය වීම යනාදිය උදෙසා වන අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට අප පියවර ගත්තා.”

ප්‍රධාන පරිසර පද්ධති හතරක්, එනම් ඛණිජ නිධි, කඩොලාන වාසස්ථාන, වැසි වනාන්තර සහ කොරල් පර යන පාරිසරික පද්ධති වල යහපත වෙනුවෙන්, පාරිසරික බලධාරීන් හා සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කරමින්, ප්‍රතිසංස්කරණ, සංරක්ෂණ හා පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම වසර ගණනාවක් තිස්සේ විශාල වශයෙන් ආයෝජනයන් සිදුකර ඇත. ආධාරක පුනර්ජනන වැඩසටහනක් හරහා, ශ්‍රී ලංකාවේ විශාලතම හුණුගල් නිධියක් වන අරුවක්කාලු හි කැණීම් කටයුතුවල දීර්ඝකාලීන පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම අඛණ්ඩව කටයුතු කරමින් සිටී. වන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක් ලෙස 1999 වසරේදී ආරම්භ වීමෙන් අනතුරුව, එම හුණුගල් නිධිය ආශ්‍රිත ප්‍රදේශයේ ජෛව විවිධත්වය සුරැකීමේ පුළුල් ව්‍යාපෘතියක් සඳහා IUCN සමග අත්වැල් බැඳගැනීමටද INSEE සිමෙන්ති සමාගම සමාගම 2007 වසරේදී කටයුතු කළේ ය. 2008 වසරේදී සතුන් මුදාගැනීමේ සහ මුදාහැරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන ලද අතර, ඉන් අනතුරුව 2009 වසරේදී IUCN සමග එක්වී ප්‍රතිස්ථාපන අධීක්ෂණ විධිවිධාන මාලාවක් ස්ථාපිත කරන ලදි. වර්තමානය වන විට සතුන් 20,493 දෙනෙකු මුදාගෙන මුදාහැර ඇති අතර, ගස් 126,000 අධික සංඛ්‍යාවක් සිටුවා, අක්කර 311.64 ක ප්‍රමාණයක නැවත වන වගාව සිදුකර තිබේ.

2019 වසරේදී, Wildlife and Ocean Resource Conservation සහ මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්වී, තම ගාල්ල සහ රුහුණු සිමෙන්ති කර්මානතශාලා ආසන්නයේ, කොග්ගල ඔයෙහි පිහිටි තලාතුදූව සහ කුරුලුදූව යන දූපත් වල කඩොලාන ගහනය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් ආරම්හ කිරීමට INSEE සිමෙන්ති සමාගම කටයුතු කළේ ය. INSEE සිමෙන්ති සමාගමේ ස්වේච්ඡා සාමාජිකයන්, හබරාදූව තාක්ෂණික විද්‍යාලයේ සිසුන් සහ පරිසරවේදීන් ඇතුළු පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක දායකත්වය සහිත නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා මේ දක්වා කඩොලාන ශාක 4,500 කට අධික සංඛ්‍යාවක් සිටුවා තිබේ.

INSEE සිමෙන්ති සමාගම ක්‍රියාවට නැංවූ තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියක් වන්නේ, උණවටුන කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහනයි. එහිදී ප්‍රථම වරට, දක්ෂිණ කොරල් පර පද්ධතිය ශක්තිමත් කරමින් කොරල් පර වර්ධනය පුළුල් කිරීම සඳහා කෘත්‍රිම ව්‍යුහයන් හඳුන්වා දීම සිදුකරන ලදි. 2009 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් නව කොරල් ජනපද 25 ක් නිර්මාණය වී තිබේ. 2019 වසරේදී, තිරසාර ලෙස කොරල් පද්ධතිය ශක්තිමත් කිරීම සහ කොරල් පර වර්ධනය වේගවත් කිරීම සඳහා, මොරටුව විශ්ව විද්‍යාලයේ රොටරැක්ට් සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්වී, ආලේපිත වානේ ව්‍යුහයන් හඳුන්වා දීම සිදුකරන ලදි.
කන්නෙලිය රක්ෂිතයේ හානියට පත් ප්‍රදේශයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම 2018 වසරේදී Biodiversity Sri Lanka සහ තවත් සමාගම් හා ආයතන කිහිපයක් සමග එක්ව කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ වුවද, ලැව් ගිනි අවදානම අවම කිරීම සඳහා වන විශේෂ ගිනි ආරක්ෂණ තීරයක්ද ඇතුළුව, අදාළ ප්‍රදේශය තුළ පැළ 15,000 කට අධික සංඛ්‍යාවක් සිටුවීමට හැකියාව ලැබිණි. මෙම වන ප්‍රතිස්ථාපන වැඩසටහන වේගවත් කිරීම සඳහා අදාළ භූමිය තුළම පැළ තවානක්ද ආරම්භ කරන ලදි. මෙම ප්‍රදේශයට නැවතත් නීල කොබෙයියන් (කැදලි සෑදීම), දුඹුරු ඇස්පටියන් (දක්නට ලැබීම), සහ ජර්දන් බිම්බස්සන් (නිත්‍ය ගහනයක් ඇතිවීම) ඇතුළු පක්ෂීන් වර්ග රාශියක් පැමිණීම මගින් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය තහවුරු වේ.

” INSEE සිමෙන්ති කිසි විටෙකත් වගකීම් හෝ කැපවීම් වලින් පලායන සමාගමක් නොවෙයි. විශේෂයෙන්ම ගෝලීය මට්ටමින් යම් යම් ක්‍රියාමාර්ග සඳහා ඉල්ලීම් ඇති විට අප ඒවාට උරදීමට සූදානම්. අපගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව සෑම විටම දැඩි පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන අතරම, අප සෑම විටම අපගේ සම්පත් හා හැකියාවන් භාවිතා කරමින්, දුර්වල මට්ටමේ පවතින පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම හා සුරක්ෂිත කිරීම සඳහා පුළුල් හා දීර්ඝකාලීන ලෙස කටයුතු කර තිබෙනවා. මෙම වසරේදී, එක්සත් ජාතීන්ගේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපන දශකයේ ආරම්භය සනිටුහන් කරමින්, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සහ ජෛව විවිධත්වයේ බිඳවැටීම නැවැත්වීම මෙන්ම, අපගේ මූලිකම පද්ධතිය වන, අපගේ ව්‍යාපාර කටයුතු සිදුකරනු ලබන ප්‍රජාවන් තුළ ජීවිත හා ජීවනෝපායන් වැඩි දියුණු කිරීම සඳහා වූ අපගේ කැපවීම නැවත වරක් තහවුරු කිරීමට INSEE සිමෙන්ති සූදානම්.” INSEE සිමෙන්ති සමාගමේ (ශ්‍රී ලංකාව) ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *