X Press Pearl නිසා අගතියට පත් පාර්ශවයන්ට වන්දි අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –MV -X Press Pearl නෞකාව ගිනිබත් වීමෙන් අගතියට පත්පාර්ශවය සඳහා තමන්ට සිදුව ඇති අලාභයන් ඉල්ලුම් කිරීමට ලබා දී ඇති කාලය තවත් සති දෙකකින් එනම් 2021 ජුලි මස 02 වන දින දක්වා දීර්ඝ කිරීමටත් ඒ සඳහා [email protected] ඊ මේල් මාර්ගයෙන් හෝ ෆැක්ස් අංක 011 2445447 මඟින් අයදුම් කිරීමට කටයුතු යොදා ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව MV -X Press Pearl නෞකාව ගිනිබත් වීමෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීම සඳහා නීතිපතිතුමාට අවශ්‍ය සහාය ලබාදීම සහ මෙතෙක් පැවති සාච්ඡාමය ක්‍රියාවලියට අදාල කරුණු සම්බන්ධයෙන් සහ එහි ප්‍රගතිය විමසා බැලීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානනත්වයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැරලීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර වරාය කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරුන්ගේ හා නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සහභාගිත්වයෙන් අද (21) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් ක‍ළේ MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සදහා අදාළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ වන විටත් සිදු වු හානිය සම්බන්ධයෙන් පළමු අන්තර්කාලීන වන්දි මුදල ලබාගැනීම සම්බන්ධයෙන් සිදු කල යුතු ඉදිරි කටයුතු ඉතා සාර්ථක අන්දමින් සිදුවෙමින් පවති.

මෙම ක්‍රියාවලියෙහි මූලික අරමුණ වන්නේ පීඩාවට පත්වී සිටින ජනතාවට සහ පරිසරයට සිදුව ඇති හානිය හා ආපදාවට පත්ව ඇති ක්ෂේත්‍රයන් සඳහා උපරිම වන්දි මුදලක් ලබාදීම මෙන්ම මේ සම්බන්ධයෙන් නීතිපති තුමාගේ උපදෙස් අනුව නැවේ හිමිකාර පාර්ශවය හා සාකච්ඡා කර ඇති බව පවසන අමාත්‍යතුමා සඳහන් කලේ විපතට පත් ජනතාව හැකි ඉක්මනින් අදාල වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවයි.

මුහුදු ජීවීන් සම්බන්ධයෙන් විවිධ මත පලවන අතර, ඒ සම්බන්ධයෙන් මුහුදු ජීවීන්ට මෙන්ම මෙම සාගර කළාපයට සිදුව තිබෙන හානිය සොයා බලා මෙම නෞකාවෙහි ඇති බහාලුම් තුළින් ඉදිරියට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට කටයුතු කරන බව සඳහන් කල අමාත්‍යතුමා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මෙරටට සිදු වු හානියට අදාලව වන්දි ලබා ගැනීම සදහා ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් මේ වන විට එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයින් තිදෙනෙකු මෙරටට පැමිණ අදාල පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්ය.

මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් U.D.C. ජයලාල්, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැරලීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රි නිමල් පෙරේරා මහතා ඇතුළු විවිධ ආයතන නියොජනය කරමින් රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *