නව ක්‍රීඩා පනත කඩිනමින් සකස් කරන බව ඇමති නාමල් කියයි

(කොළඹ, ලංකාපුවත්) –කිසිවෙකුටත් සිය වගකීමෙන් මිදිය නොහැකි පරිදි නව ක්‍රීඩා පනත කඩිනමින් සකස්කොට රටට අවශ්‍ය ජයග්‍රහණ ලබා දෙන ක්‍රීඩකයන් බිහි කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (23) පැවසීය.

උලහිටිවල ප්‍රදේශයේ ඉදිකළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

එක්කෙනාට ඇගිලි දිගු කරමින් සිටියහොත් මේ වසර 04 තුළ දී වැඩක් කිරීමට නොහැකිවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දක්ෂ ක්‍රීඩකයන් බිහි කර ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන සැළසුම් සහගත ගමනට කවුරුන් බාධා කළ ද එය ඉදිරියට රැගෙන යන බවට විශ්වාසය පළ කළේය.

ප්‍රතිපත්ති සෑදීමට වියදමක් නොයන බැවින් කලින් ආණ්ඩුවේ අයටත් උවමනාවක් සහ උනන්දුවක් තිබුණේ නම් මේ වනවිට නව ක්‍රීඩා පනත සකසා අවසන් බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි දී මෙසේද පැවසීය.

දීර්ඝකාලීන සැලැස්මක් එක්ක ඊළඟ අවුරුදු 04 ඇතුළත ක්‍රීඩකයෝ නිර්මාණය කරන්න මේ වන විට අපි ක්‍රීඩා සංගම් 06 කට මිලියන 100 කට වඩා මුදල් ආයෝජනය කරලා තිබෙනවා.

ඊළඟ සතියේ අපි තවත් හදුනාගත් ක්‍රීඩා සංගම් 05 ක් සඳහා මිලියන 100 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සමඟම ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වන ක්‍රීඩකයින්ට පළමු වතාවට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් ලබාදීලා, ජාත්‍යන්තරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සලකන ආකාරය හා සමානවම අපි අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් සළකනවා.

ග්‍රාමීය ක්‍රීඩා පිට්ටනි හැදෙනවා. පාසල් ක්‍රීඩා පිටි හදන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ වන විටත් යවලා තිබෙනවා.

ආසන මට්ටමින් ක්‍රීඩාංගණ 162 ක් පළමු වටයේ හදන්න ඊළඟ සති කිහිපය ඇතුළත වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා.

කොරෝනා ව්‍යසනය පාලනය කරන්න සටන් කරන අතරතුරේදීම මේ රටේ ජනතාවගේ ක්‍රියාශීලීත්වය ඇතිකරමින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් වෙනුවෙන් අපි ප්‍රමුඛස්ථානය දී කටයුතු කරනවා.

ක්‍රිකට් සම්බන්ධයෙන් දිගුකාලීන සැළැස්මක් ක්‍රිකට් කමිටුව විසින් හදනවා. ඒ කමිටුවේ සැළැස්ම අනුව ජයග්‍රහණ කරා ගමන් කරනවා.

ක්‍රීඩකයින්ගේ සහ රටේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ජයග්‍රහණ කරා යන්න අපේ පැත්තෙන් ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා.

පැහැදිළිව අපි තේරුම්ගත යුතු කාරණය තමයි එක රැයකින්, දෙකකින් චැම්පියන්ස්ලා හදන්න බැහැ. ජයග්‍රාහකයෝ හදන්න බැහැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.

වසරකට ක්‍රීඩකයින් 100 ක් විදේශ පුහුණුව සදහා යැවීමට අපි බලාපොරොත්තු වෙනවා. දැනට ක්‍රීඩකයින් 60 දෙනෙක් ඒ සඳහා හඳුනාගෙන තිබෙනවා.

අපේ උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂතා අනුව රුපියල් ලක්ෂයේ සිට මාසික දිමනාවක් ලැබෙනවා. කඩිනමින් මෙම ක්‍රීඩකයින් කෙටි කාලීන පුහුණු කොන්ත්‍රාත්තු මත විදේශ පුහුණුව සඳහා යවන්න කටයුතු කරනවා.

අපි එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර හිටියොත් මේ අවුරුදු 04 ම වැඩක් කරන්න බැරි වෙනවා. කවුරු බාධා කළත් ඉන්න අයත් එක්ක මේ ගමන යන්න ඕනේ.

අපි එකතුවෙලා ප්‍රතිපත්ති හැදුවාට පස්සේ ක්‍රීඩාව දියුණු වෙයි. අපි ඉවසීමෙන් ඒ කාලයට අවශ්‍ය සැළැස්ම හදලා මේ පද්ධතිය ඇතුලේ දක්ෂ ක්‍රීඩකයෝ බිහි කරලා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යමු.

ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් තරගාවලියට සම්බන්ධ වන සාධනීය මට්ටම ඉක්ම වූ ක්‍රීඩකයින්ට ඩොලර් 10,000 ක දීමනාවක් ලබාදෙමින් පවතින නීති රාමුව තුළ ක්‍රීඩකයන් වෙනුවෙන් කළ හැකි උපරිමය ඉටු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත්, දොම්පේ ප්‍රාදේශීය සභා සභාපති පියසේන කාරියප්පෙරුම මහත්වරු ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *