රනිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –වසර ගණනාවක දේශපාලනයේ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද(23) පෙරවරු‌වේ දිවුරුම් දුන්නේය.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේය.

1978 වසරේ සිට 2020 වසරේ සිට අඛණ්ඩව මෙරට පර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතා එම කාලය තුළ අගමැතිවරයෙකු, අමාත්‍යවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු විවිධ තනතුරු හොබවා ඇත.

2020 වසරේ පැවති මහ මැතිවරණයේදී දරුණු පරාජයකට මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. ඒ සදහා විවිධ නම් යෝජනාවීමෙන් අනතුරුව අවසානයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එම පක්ෂය පසුගියදා තීරණය කළේය. එම තීරණය පක්ෂ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලදි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් කිරීම සම්බන්ධයෙන් තීරණය ගැනීම සදහා මැතිවරණ කොමිසම පසුගිය 18වනදා රැස්විය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට පියවර ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *