විදුලිය සම්බන්ධ ගැටළු විසදීමට ක්ෂණික ඇමතුම් අංකයක්

(කොළඹ, ලංකාපුවත්) –විදුලිබල අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (පී.යූ.සී.එස්.එල්.) මාර්ගගතව විදුලි පැමිණිලි විසඳීම සඳහා ක්ෂණික ඇමතුම් දුරකථන අංකයක් හදුන්වා දෙයි.

“ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල අංශයේ නියාමකයා වන බැවින් පාරිභෝගික දුක්ගැනවිලි සහ විදුලි පාරිභෝගිකයාගේ පැමිණිලි පිළිගැනීම යන කටයුතු වලට ඍජු දායකත්වයක් සපයනවා. දැන් අපි වොට්සැප්, වයිබර් සහ ඉමෝ වැනි හොට්ලයින් සහ සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරමින් පාරිභෝගික ගැටලු විසඳීම සඳහා වඩාත් පහසු , ඉක්මන් ක්‍රම භාවිතා කරන්න කටයුතු යොදා තිබෙනවා.ඒ වගේම මෙම විශේෂිත දුරකථන සේවා අංකය ඔස්සේ, කෙටි පණිවිඩ හෝ අනිකුත් ක්‍රමවේද මගින් අපත් සමග ජනතාවට සම්බන්ධ විය හැකියි.”ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ, සභාපති, ජනක රත්නායක මහතා පැවසීය.

“මෙම ක්‍රමවේදය තුළින් පාරිභෝගිකයින්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට අපගේ සේවාවන් කඩිනම් කිරීමට සහ උපරිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා වගේම සියලු පාර්ශවකරුවන්ට ඕනෑම වේලාවක අප හා සම්බන්ධ වීමට ඉඩ සලසනවා.” යැයි රත්නායක මහතා සදහන් කළේය

පාරිභෝගිකයින්ට දැන් PUCSL වෙත එහි දුරකථන අංක 0775 687 387 හරහා සම්බන්ධ විය හැකි අතර එම අංකය හරහාම WhatsApp, Viber සහ IMO යන මාර්ග වලින් සම්බන්ධ විය හැකිය.

ලිඛිත පැමිණිල්ලේ ඡායාරූපයක් ගෙන එය සමාජ මාධ්‍ය හරහා හෝ ටයිප් කළ පණිවිඩයක් ලෙස උඩුගත කිරීමෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉල්ලා සිටී. කෙටි කාලයක් තුළ වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා, නම සහ ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් (තිබේ නම්), විදුලි ගිණුම් අංකය, පැමිණිල්ලේ විස්තරය, අදාළ ඇමුණුම් (තිබේ නම්) සඳහන් කරන ලෙස පාරිභෝගිකයින්ට කාරුණිකව උපදෙස් දෙනු ලැබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමත් සමඟ පාරිභෝගිකයාට විමර්ශනය පසු විපරම් කිරීම සඳහා යොමු අංකයක් ලැබෙනු ඇති අතර පැමිණිල්ල ගොනු කිරීමේදී කිසියම් ගැටළුවක් ඇති වුවහොත් පාරිභෝගිකයාට එම අංකයෙන් නිලධාරියෙකු සම්බන්ධ කර ගත හැකිය.

මෙම සේවාවට අමතරව, මහජනතාවට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට 0112392607 හෝ 0112392608 සහ [email protected] හෝ [email protected] හෝ www.facebook.com/pucsl යන ක්‍රමවේද තුලින් PUCSL සමඟ සම්බන්ධ විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *