අගමැති රුහුණු මහා කතගරගම දේවාලය වැඳපුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) – කතරගම ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹෙන අද (10) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අග්‍රාමාත්‍යතුමා පළමුව කතරගම අෂ්ඨ ඵල බෝධිය අසල ආගමික වතාවත්වලට එක් විය.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජ මහ විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමි සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය එහි දී සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යතුමා ඇතුළු රට වැසියන්ට නිරෝගී සුව පතා ආශිර්වාද කළහ.

අග්‍රාමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයෝ අනතුරුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වැඳ ආශිර්වාද ලබා ගත්හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහනට කතරගම සිට එක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කතරගම පූජා භුමියේ පොල් පැල දෙකක් රෝපණය කළහ.

අනතුරුව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කතරගම පූජා නගරයේ පිවිසුම්, රථගාල් සහ මාර්ග පද්ධතිය කඩිනමින් සංවර්ධනය කරන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.

එම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් කතරගම පුදබිමේ පැවති ආගමික වතාවත් සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් වික්‍රමරත්න ගුණසේකර, කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහත්වරු ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයෝ පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *