කොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ කිරි නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම 2020 / 21 වසර තුළ දී සැලකිය යුතු මූල්‍යමය වර්ධනයක් හිමිකර ගෙන ඇත. එහිදී සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148% ලෙස විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

2020/21 වසර තුළදී දී සමාගම විසින් හිමිකරගෙන ඇති ලාභය අයවැයගත ලාභ ඉලක්කයට වඩා අඩුවී ඇත. එහිදී සමාගමේ අපේක්ෂිත දළ ලාභය 180% වූ අතර බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148% ලෙස වර්ධනය වී ඇත. මෙය ඇත්ත වශයෙන්ම පැල්වත්ත කිරි සමාගම ලැබූ විශාල ජයග්‍රහණයක් වන අතර 2019/20 මුදල් වර්ෂයේදී සමාගම PBT හී අලාභයක් වාර්තා කළේය.

කොවිඩ් තත්ත්වය හමුවේ කරන ලද සීමා කිරීම් මධ්‍යයේ සමාගම සමස්ත ගොවීන්ගේ සංඛ්‍යාව 6500 දක්වා16% කින් ඉහළ නැංවීමට සමත් විය. එසේම 2020/21 දී සමාගම විසින් ගොවීන්ට රුපියල් බිලියන 3.18 ක් ගෙවා ඇති අතර එය 70% ක වර්ධනයකි. එලෙසම වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන දහය අතුරින් තුනක් හැරුණු විට නිෂ්පාදන හතක් ද 2020/21 වසර තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.

2020/21 වසර තුළ දී වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන පෙළ ලෙස සම්පුර්ණ යොදය සහිත කිරි පිටි 76% ක වර්ධනයක් පෙන්නුම් කරයි. දෙවන ඉහළම අලෙවිය සහිත නිෂ්පාදනය වන්නේ බටර් වන අතර එය 42% ක වර්ධනයක් පෙන්නුම් කරයි. තෙවන ඉහළම අලෙවිය යෝගට් වන අතර එය 49% ක වර්ධනයක් පෙන්නුම් කරයි. යෝගට් පානය සහ මුදවන ලද කිරි යන දෙකම 392% සහ 486% ලෙස අලෙවියෙහි ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරයි. එලෙසම අනෙකුත් නිෂ්පාදන රේඛාවලින් ද පෙන්නුම් කළේ 2020/21 වසර තුළදී වර්ධන වේගය 100% ඉක්මවන බවයි. ගිතෙල්, විශාලතම අලෙවියක් සහිත නිෂ්පාදනය වන අතර හයවන ස්ථානයේ සිටියද, 2020/21 දී සියලුම නිෂ්පාදන අතර ඉහළම වර්ධනයක් පෙන්නුම් කරමින් එය 1070% ක දස ගුණයක වර්ධනයක් වාර්තා කර තිබේ.

2020/ 21 මුල්‍ය වර්ෂය දෙස මෙහෙයුම් දෘෂ්ටි කෝණයකින් බැලූ විට සමාගම සිය මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමෙන් හා ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) වන SAP හඳුන්වා දීමෙන් ස්වයංක්‍රීයකරණය ශක්තිමත් කල වසරකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *