ජනපති අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (03) නියැළුණේය.

යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබූ අතර රාජපක්ෂ මහතා වෙත විශේෂ හමුදා උත්තමාචාර ද පිළිගැන්විණ.

මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බළ සේනාවේ ඉදිරි සැලසුම් පැහැදිලි කරනු ලැබූ අතර එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය සහ ජනාධිපතිවරයාගේ චාරිකාව සලකුණු කරමින් සමරු තිළිණ ප්‍රදානය හමුදාපතිවරයා විසින් සිදු කෙරිණ.

ගුවන් සංග්‍රාමික බළ සේනාවේ විද්යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිවරයා යුද හමුදා මූලස්ථානයේ “ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය” ද විවෘත කරනු ලැබීය. කෞතුකාගාරය ඇතුළු යුද හමුදා පරිශ්‍රයේ ස්ථාන රැසක් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *