එමිරේට්ස් කොළඹ – මාලේ ගුවන් ගමන් අද සිට යළිත්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් යළිත් අද(01) සිට ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත.

මෙහිදී, ඩුබායි සිට මාලේ දක්වා දිනපතා ක‍්‍රියාත්මක වන EK652 ගුවන් සේවය කොළඹ දක්වා දීර්ග කරන බවත් ආපසු යන EK653 ගුවන් සේවය කොළඹ සිට මාලේ හරහා ඩුබායි දක්වා ක‍්‍රියාත්මක කරන බවත් සමාගම සඳහන් කරයි.

මේ අනුව, EK652 ගුවන් සේවය දිනපතා ඩුබායි හි සිට පැය 09:45 ට පිටත්වී මාලේ වෙත පැය 15:00 ට පැමිණෙන අතර නැවත මාලේ වෙතින් පැය 16:35 ට ගමන් අරඹා කොළඹට පැය 18:30 ට ළඟා වේ. EK653 ගුවන් සේවය කොළඹින් පැය 20:35 ට පිටත්වී මාලේ වෙත පැය 21:35 ට ළඟාවන අතර එය නැවතත් පැය 23:00 ට මාලේ වෙතින් ගමන් අරඹා පැය 02:00 ට ඩුබායි වෙත ළඟාවේ. මේ සියළු වේලාවන් එම රටවල්වල දේශීය වේලාවන් වේ. එමිරේට්ස් මෙම සියළු ගුවන් ගමන් සිදුකිරීම සඳහා පුළුල් බඳ සහිත Boeing 777 ගුවන් යානා භාවිතා කරයි.
සමාගම සඳහන් කරන්නේ ඔක්තෝම්බර් මාසය මැද වනවිට සමාගම විසින් මාලේ සහ ඩුබායි අතර ගුවන් ගමන් දිනකට හතරක් දක්වා වැඩිකරන බවයි.

එමිරේට්ස් ගුවන් ගමන් emirates.com වෙබ් අඩවියෙන්, ගමන් නියෝජිතයින් මාර්ගයෙන් හෝ එමිරේට්ස් විකුණුම් කාර්යාලයෙන් වෙන්කරවා ගත හැකිවේ.

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ එමිරේට්ස් සිය ගෝලීය ජාලය ආරක්ෂාකාරී සහ තිරසාර ලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් නැවතත් ගොඩනැගූ අතර අද මගී ගුවන් ගමන් ගමනාන්ත 120 කට වැඩි ප‍්‍රමාණයකට සේවා ක‍්‍රියාත්මක කරයි. ඒ තුළින් මගීන්ට ඩුබායි හරහා ඇමරිකාව, යුරෝපය, අප‍්‍රිකාව, මැදපෙරදිග සහ ආසියා පැසිෆික් කළාපයට පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව සමාගම විසින් උදාකර දී තිබේ.

ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරක කර්මාන්තය සහ අපනයන කර්මාන්ත වර්ධනය කරගැනීම සඳහා දිගුකාලීන සහයෝගයක් ලබාදී තිබෙන එමිරේට්ස් සමාගම ශ‍්‍රී ලංකාවට වසර 35 ක් සහ මාලදිවයිනට වසර 34 ක් ගුවන් ගමන් සිදුකර ඇත. එසේම, කළාපයේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එන්නත් සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමටද එමිරේට්ස් සමාගම කැපී පෙනෙන දායකත්වයක් දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *