රටට අභිමානයක් ගෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම්වලට දිගටම පහසුකම් සපයනවා

(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩා ජයග්‍රහණ හිමි කර දෙමින් රටට අභිමානයක් එක් කිරීමට කැප වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම්වලට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) අවධාරණය කළේය.

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ (08) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර එහිදී අගමැතිවරයා මේ බව කියා සිටියේය. ඉතිහාසය අලුතින් ලියා තැබූ මේ ජයග්‍රහණයට මඟ පෙන්වූ පුහුණුකරුවන් නිලධාරීන් ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පැරාලිම්පික් තරගබිමේ නව වාර්තා තබමින් ඔබ ලැබූ ජයග්‍රහණයන් ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය තුළ ගෞරවාදරයට ලක් කිරීමක් බව අගමැතිවරයා මේ සුහද හමුවේ දී ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කළේය.

ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු රජය දෙන සහයෝගයට සිය ප්‍රණාමය පුදකරන බව මෙහි දී පැරාලිම්පික් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයෝ අගමැතිවරයාටට පැවසූහ.

තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මෙරට ක්‍රීඩාව සැලැස්මකට අනුව දියුණු කිරීමට පියවර ගැනීම ජයග්‍රහණ පිළිබඳ අනාගත බලාපොරොත්තු තැබීමේ හැකියාව උදාකරන බව ද අගමැතිවරයා මෙහි දී විශ්වාසය පළ කළේය.

ජපානයේ ටෝකියෝහි පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේ දී F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.79ක දුරක් හෙල්ලය විසිකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

එම තරගාවලියේම F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 65.61 වාර්තා කරමින් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා දුන්නේය.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත්, ලේකම් බන්දුල බණ්ඩාර, හෙල්ල විසිකිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =