අගෝස්තුවේ සංචාරකයන් 5,040ක් ඇවිත්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුවද පසුගිය අගෝස්තු මාසයේදී විදෙස් සංචාරකයන් 5,040 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට මේ විදේශ සංචාරකයන් පිරිස පැමිණ තිබෙන අතර, එය මේ වසරේ මසක් තුළ පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වසරේ මැයි මාසයේදී විදෙස් සංචාරකයන් 1,497ක් සහ ජූනි මාසයේදී විදෙස් සංචාරකයන් 1,614ක් පැමිණ ඇති අතර, ජූලි මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2,429ක් වෙයි.

මේ වසරේ විදෙස් සංචාරකයන් 24,377 දෙනකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන නමුත් කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය පසුගිය වර්ෂයට සාපේක්ෂව විශාල පහළ යෑමක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩසටහන යටතේ දිවයිනට පැමිණි ඔවුන් කොරෝනා වයිරස් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරීක්ෂාවන්ට ලක් කර තිබෙන අතර, පසුගිය මාසයේ දිවයිනට පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ කැනඩාවෙන් බවද වාර්තා වෙයි. ජර්මනිය, බ්‍රිතාන්‍යය, පාකිස්තානය සහ ඉන්දියාව යන රටවලින් ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන අතර, පූර්ණ එන්නත්කරණය ලැබූ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාව දීමේ වැඩසටහනක්ද පසුගිය අගෝස්තු 24 දා ආරම්භ කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *