ඉන්දීය රාජ්‍ය සභාවට අතුරු මැතිවරණයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය රාජ්‍ය සභාවේ අතුරු මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමේ අවසන් දිනය සැප්තැම්බර් 22 වන අතර මුදල් ආපසු ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 27 ලෙස වාර්තා වේ.

ඉන්දීය රාජ්‍ය සභාවේ ආසන 7 ක් සඳහා වන අතුරු මැතිවරණය ඔක්තෝම්බර් මස 4 වැනිදා පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම බ්‍රහස්පතින්දා නිවේදනය කළ බැව් India News Network වාර්තා කරයි.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය සභාවේ උපරිම සභික ධූර සංඛ්‍යාව 250කි. එම සභිකයින්ගෙන් 12 දෙනෙකු ඉන්දීය ජනාධිපතිවරයා විසින් කරනු ලබන අතර සෙසු සභිකයින් 238 ප්‍රාන්ත හා සන්ධීය බල ප්‍රදේශ (Union Territories) නියෝජිතයන් වේ. වර්තමාන රාජ්‍ය සභාවේ සංයුතිය 245 ක් වන අතර සභිකයින් 233ක් ප්‍රාන්ත රාජ්‍ය හා දිල්ලි සහ පුදුචෙරි යන සන්ධීය බල ප්‍රදේශ (Union Territories) වලින් තෝරා පත් කර ගනු ලබන අතර ඉතිරි 12දෙනා නම් කරනුයේ ඉන්දීය ජනාධිපතිවරයා විසිනි. ජනාධිපතිවරයා විසින් නම් කරන ලද සාමාජිකයින් සාහිත්‍යය, විද්‍යාව, කලාව සහ සමාජ සේවය වැනි කරුණු පිළිබඳව විශේෂ දැනුමක් හෝ ප්‍රායෝගික පළපුරුද්දක් ඇති පුද්ගලයින් ය.රාජ්‍ය සභාව ස්ථිර ආයතනයක් වන අතර එය විසුරුවා හැරීමට යටත් නොවේ. කෙසේ වෙතත්, සෑම දෙවන වසරකම සාමාජිකයින්ගෙන් තුනෙන් එකක්ම විශ්‍රාම ගන්නා අතර, ඒ වෙනුවට අලුතින් තේරී පත් වූ සාමාජිකයින් පත් කෙරේ. සෑම සාමාජිකයෙකුම වසර හයක කාලයක් සඳහා තේරී පත් වේ.

ඉන්දීය රාජ්‍ය සභාවේ දැනට හිස්ව ඇති ආසන 06ක් සහ ඔක්තෝම්බර් මාසයේදී සාමාජිකයෙකු විශ්‍රාම යාමට නියමිත එක් ආසනය ද ඇතුළුව පුරප්පාඩු වී ඇති ආසන 07ක් සඳහා අතුරු මැතිවරණය පැවැත්වේ. සභිකයින් තෝරා පත් කරගන්නා ප්‍රාන්ත නම් බටහිර බෙංගාලය, ඇසෑම් , තමිල්නාඩුව,මහාරාෂ්ට්‍ර,මධ්‍ය ප්‍රදේශ් සහ පුදුචෙරි සන්ධීය බල ප්‍රදේශය (Union Territory) වේ.

ඉන්දීය රාජ්‍ය සභාව සඳහා වන අතුරු මැතිවරණය ඔක්තෝබර් මස 4 වන දින පවත්වන බවත්, ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද එදිනම සිදු කරන බවත් ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කරයි. සමස්ථ මැතිවරණ ක්‍රියාවලිය සඳහා කොවිඩ්-19 යෝග්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව ඉන්දීය මැතිවරණ කොමිසම උපුටා දක්වමින් India News Network වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *