විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තාවකාලික සංචිතයක්

(කොළඹ, ලංකාපුවත්) –ඕමානයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් නම් කර ඇති අතර, දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයෙන් පැතුම් නිශ්ශංක, කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක සහ දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයට තේරී නැත. ක්‍රීඩකයන් 19 දෙනකුගෙන් යුත් තාවාකාලික ක්‍රිකට් සංචිතයක් නම් කර ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියට යවා ඇත.

මේ සංචිතයෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15ක් මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි20 තරගාවලියෙන් අනතුරුව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරයි.

බංග්ලාදේශය, එංගලන්තය සහ ඉන්දියාව සමඟ පැවති අඛණ්ඩ තරගමාලා සඳහා ක්‍රීඩකයන් නම් කිරීමේදී තේරීම් කමිටුව විසින් කපා දමා සිටි චන්දිමාල්ගේ ක්‍රිකට් දිවිය පිළිබඳ අවිනිශ්චිත බවක් පැතිර ගොස් තිබුණ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද ආරාධිත විස්සයි20 ලීග් තරගාවලියේදී අවසන් මහා තරගය දක්වා තම පිල රැගෙන ඒමට දිනේෂ් චන්දිමාල් සමත් වූ හෙයින් ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යළිත් ඔහු කෙරෙහි යොමු විය. ඒ සමගම ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අන්තර්ජාතික එක්දින තරගාවලිය සදහා ද නම් කිරීමට පියවර ගත්තේය.

තේරීම් කමිටුව විසින් විස්සයි 20 ලෝක කුසලානය සදහා නම් කළ 19කගෙන් සමන්විත තාවකාලික කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ක්‍රීඩක නාම ලේඛනය දිය යුතු අවසන් දිනය ඊයේ දිනෙන් අවසන්ව තිබිණි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියට යවා ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේය:

දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, මහේෂ් තීක්ෂණ, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ළහිරු මධුශංක, ළහිරු කුමාර, ප්‍රවීන් ජයවික්‍රම, පුලින තරංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *