ගේල් ජෛව බුබුළෙන් පනී

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් පිල නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් තරගාවලියට සම්බන්ධ ජෛව ආරක්ෂිත බුබුළෙන් ඉවත් වී තිබේ. මානසිකව යළි ශක්තිමත් වෙමින් එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට එක් වීමේ අරමුණින් මෙලෙස ජෛව බුබුළෙන් ඉවත් වන බව ඔහු පවසා තිබේ.

පසුගිය කාලයේදී කොදෙව් කණ්ඩායමෙත් පසුව කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදීත් ජෛව බුබුළ තුළ රැඳි සිටි ගේල් ඉන් අනතුරුව අයිපීඑල් තරගාවලියේ ජෛව බුබුළට ඇතුළත් විය.

“පසුගිය මාස කිහිපය තුළ මම කොදෙව් බුබුළේ, සීපීඑල් බුබුළෙත් පසුව අයිපීඑල් බුබුළේ කොටසක් වූ අතර, මානසිකව නැවත ප්‍රබෝධයක් ලබා ගැනීමට කැමතියි” ගේල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මානසිකව නැවතත් ශක්තිමත් වෙමින් තම සම්පූර්ණ අවධානය විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙත යොමු කරන බවත්, එම තරගාවලියේදී කොදෙව් කණ්ඩායමට සිය සහාය අවශ්‍ය බවත් පවසන ගේල් එම නිසා අයිපීඑල්වලින් ඉවත් වී ඩුබායිහිදී විවේක ගන්නා බවත් පවසා තිබේ.

“විස්සයි 20 ලෝක කුසලානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහාය වීම ගැන නැවත අවධානය යොමු කිරීමට අවශ්‍ය අතර, ඩුබායිහි විවේකයක් ගැනීමට කැමතියි. මට විවේකයක් දීම ගැන පංජාබ් කිංග්ස් කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා” ගේල්ගේ නිවේදනයේ දැක්වේ.

පංජාබ් පිල නියෝජනය කරන 42 හැවිරිදි ගේල් මෙවර තරගාවලියේ තරග 10කදී ලකුණු 193ක් රැස් කර තිබේ. කෙසේ වෙතත් ඊට ඇතුළත් එක්සත් අරාබියේ පැවැත්වෙන දෙවැනි කොටසේ තරග 2කදී ඔහුට රැස් කළ හැකි වූයේ ලකුණු 15ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *