ගල්කිස්ස දිසා අධිකරණයේ නඩු කටයුතු මාර්ගගත ක්‍රමවේදයට

(කොළඹ, ලංකාපුවත්) –ලබන 21වනදා සිට ගල්කිස්ස දිසා අධිකරණයේ නඩු කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමට දිසා විනිසුරුතුමා, අධිකරණ කාර්ය මණ්ඩලය හා නීතීඥ සංගමය විසින් ගෙන ඇති වැදගත් හා කාලීන ක්‍රියාමාර්ගය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතාගේ පැසසුමට ලක් වූ අතර එම කටයුතු සඳහා අවශ්‍ය නව තොරතුරු තාක්‍ෂණ උපකරණ ගල්කිස්ස දිසා අධිකරණය වෙත ලබා දීම අද (14) අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙම උපකරණ ලබා දීම දිවයින පුරා අධිකරණවල පවතින අඩුපාඩු නිරීක්‍ෂණය කොට දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව එම අඩුපාඩු ඉතා කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ වැඩසටහනක ප්‍රතිඵලයකි. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා අධිකරණ වෙත අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් යොමු කොට දැනට පවතින අඩුපාඩු හඳුනා ගැනීමට කටයුතු සිදු කළේය.

මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 30 ක් වටිනා තාක්‍ෂණික මෙවලම් මෙන්ම රුපියල් මිලියන 08 ක් වටිනා කාර්යාල උපකරණ දිවයින පුරා අධිකරණ වෙත ලබා දීමට කටයුතු කෙරේ. වැඩසටහනේ දෙවන අදියරේ ප්‍රසම්පාදන කටයුතු ද මේ වන විට ආරම්භ කොට ඇත.

මීට අමතරව, මෙම වැඩසටහන හරහා හඳුනා ගනු ලබන සුළු පරිමාණ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා සිදු කිරීමේ ක්‍රමවේදයක්ද ආරම්භ කොට ඇත.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ, අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, අතිරේක ලේකම් තුෂාර සුරවීර, සිවිල් නීති ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රධාන නීති උපදේශක නීතිඥ ලසිත කණුවනආරච්චි, ප්‍රතිසංස්කරණ අධ්‍යක්‍ෂ මධුශංක දිසානායක, ගල්කිස්ස නීතිඥ සංගමයේ සභාපති ජගත් හාල්පන්දෙනිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − four =