ව්‍යාපාරවල වර්ධනයටත් ආර්ථිකයේ සංවර්ධනයටත් උරදෙන SDF ‘ස්මාර්ට් විලේජ් ඇප්’

(කොළඹ, ලංකාපුවත්) –සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්’ (Sarvodaya Development Finance – SDF) සමාගම රටේ ව්‍යාපාර වල වර්ධනයට සහ ආර්ථිකයේ සංවර්ධනයට උරදීම සඳහා ‘ස්මාර්ට් විලේජ් ඇප්’ නමින් විශේෂ ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් ග්‍රාමීය ජනතාවට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික දුෂ්කරතා හඳුනා ගනිමින්, එම දුෂ්කරතා වලින් මිදීමට ඔවුන්ට අත්වැලක් වීම සඳහා මෙය හඳුන්වා දීමට සමාගම කටයුතු යොදා ඇත. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් යනු රටේ පැරණිතම සමාජ සත්කාර ව්‍යාපාරය වන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ මූල්‍ය අංශය නියෝජනය කරන සමාගමයි.

COVID-19 ව්‍යාප්තියේ ආරම්භයට පෙර සිටම SDF සමාගම ‘සූම්’ සහ ‘ගූගල් මීට්ස්’ ඔස්සේ රැස්වීම් පැවැත්වීම ඇතුළුව, නවීන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් තම ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කිරීමට කටයුතු කර තිබිණි. ‘ස්මාර්ට් විලේජ් ඇප්’ හඳුන්වා දෙමින් ආචාරධාර්මික මූල්‍ය සේවා සම්ප්‍රදායේ වෙනසක් ඇතිකිරීම එම ඩිජිටල්කරණ උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. මෙහි මූලික අරමුණ වී ඇත්තේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වඩාත් පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගැනීමට බිම් මට්ටමේ ජනතාවට අවස්ථාව ලබාදීම වන අතර, එමගින් ඔවුන්ට තම නිෂ්පාදන හා සේවා අලෙවි කිරීම, ව්‍යාපාර කටයුතු සිදුකිරීම සහ මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීම වැනි ප්‍රයෝජන රාශියක් ලබගැනීමට හැකි වනු ඇත.

SDF සමාගම මේ වනවිට සර්වෝදය සමිති 5,400 කට අධික සංඛ්‍යාවක් සමග සමීපව කටයුතු කර තිබේ. මීට පෙර එවැනි සමිති 75 ක් සහ එම ප්‍රදේශ වල ජනතාව සම්බන්ධ කරගනිමින්, ජංගම ඩිජිටල් උපාංග භාවිතයෙන් උපයෝගීතා සේවා බිල්පත්, රක්ෂණ වාරික සහ බැංකු හා වෙනත් මූල්‍ය සේවාවන්ට අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට එම සමාගම කටයුතු කළේ ය. එහි සාර්ථකත්වය නිසා එම නියමු ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරන ලද අතර, ඉතා කෙටි කාලයක් තුළ ඊට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. මින් ඉදිරියට එම ඩිජිටල් උපාංග වල ‘ස්මාර්ට් විලේජ් ඇප්’ භාවිතා වනු ඇති අතර, එමගින් වඩාත් පහසුවෙන් සහ නිසි කලට ගෙවීම් සිදුකිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

ළඟදීම ‘ගූගල් ප්ලේ’ සහ ‘ඇපල් ස්ටෝර්’ හරහා ‘ස්මාර්ට් විලේජ් ඇප්’ බාගත කරගැනීමේ පහසුකම් සලසා දීමට සමාගම සැලසුම් කර තිබේ. මෙමගින් නිෂ්පාදන හා සේවා භාවිතය පහසු වීම, වඩාත් කාර්යක්ෂම ලෙස හැකියාවන් හුවමාරු කරගැනීමට හැකිවීම, ප්‍රවාහන විසඳුම් ඔස්සේ වඩාත් විධිමත් බෙදාහැරීම් ජාලයක් ස්ථාපිත කිරීමට හැකිවීම සහ තිරසාර පරිභෝජනය දිරිමත් කිරීම මෙන්ම, අපනයන වෙළඳපොළට පිවිසීම සඳහා අවස්ථා උදාකර දීමද සිදුවනු ඇත.

“ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ සැමදෙනාටම ආර්ථික කටයුතු වල නිරත වීමට අවස්ථාව සලසා දෙමින් මූල්‍ය සමානාත්මතාව ඇතිකිරීම මගින් කෙතරම් ප්‍රතිලාභ ලැබිය හැකිද යන්න අප කලක පටන් අත්දැක තිබෙනවා. මෙතෙක් සීමිත පහසුකම් සහිතව ජීවත් වූ පිරිසක් වෙත ප්‍රතිලාභ රාශියක් රැගෙන එමින් මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමේ හැකියාව ‘ස්මාර්ට් විලේජ් ඇප්’ සතුයි. මෙමගින් මෙරට ග්‍රාමීය නිෂ්පාදන ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙන අතර, එම ජනතාවට මාර්ගගත වෙළඳපොළට පිවිසීමත්, මූල්‍ය සේවාවන් භාවිතා කිරීමත් වඩාත් පහසු වෙනවා. මෙය COVID-19 හමුවේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව තහවුරු කරන අතරම මූල්‍ය ක්‍රියාකාරකම් වල යෙදීමට ජනතාවට අවස්ථාව සලසා දෙමින්, ආර්ථිකය නගාසිටුවීමට උරදෙන පියවරක් වේවි.” සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පැවසී ය.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම යනු පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් ලබාදෙන සහ, මූල්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් කිරීමට කැපවී සිටින සමාගමකි. නවීන තාක්ෂණය ඔස්සේ පොදු ආර්ථික පසුබිමක් තුළ විශේෂ වූ සංවර්ධන අවස්ථා නිර්මාණය කරමින් රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීමට එය කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *