Ex-Pack ආයෝජක සමුළුව අතිසාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම සිය ප්‍රථම පොදු කොටස් නිකුතුවට පෙර පැවැත්වූ අතථ්‍ය (Virtual) ආයෝජක සම්මන්ත්‍රණය සහ විශ්ලේෂකයන් සඳහා වූ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

සමාගමේ ප්‍රථම පොදු කොටස් නිකුතුව 2021 ඔක්තෝබර් 22 දින පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව එම සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වනු ඇත. ආයතනික ආයෝජකයන් ඇතුළුව දේශීය හා විදේශීය ආයෝජකයන්ට සහ වෙළඳපොළ විශ්ලේෂකයන්ට මෙම වැඩසටහන තුළදී Ex-Pack සමාගමේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයන් සමග පුළුල් මට්ටමින් සාකච්ඡා කිරීමටත්, ඔවුන්ගෙන් කරුණු විමසීමටත් අවස්ථාව උදා විය.

Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. මීට පෙර Expolanka Investments (පුද්.) සමාගම ලෙස හැඳින්වුණු Aberdeen Holdings සමාගම, පවුල් සමාගමක් ලෙස ආරම්භ වූ, වසර 30 කට අධික ඉතිහාසයක් සහිත, රට තුළ විශාල කීර්තියක් දිනාගත් සමාගමක් වේ.

Capital Alliance Partners Limited සහ Asia Securities Advisors Pvt Ltd යන සමාගම් විසින් කළමනාකරණය කරනු ලබන මෙම කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 83,333,333 ක් නිකුත් කිරීමට සමාගම අපේක්ෂා කරයි. මෙම එක් කොටසක් රු. 8.40 කට මිල කර ඇති අතර, මෙහි අපේක්ෂිත වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 2.8 කි. 2022 මූල්‍ය වර්ෂය සඳහා මෙහි ඇස්තමේන්තුගත Future PER මට්ටම 7.7x වන අතර, Implied TTM PER මට්ටම (2021 අගෝස්තු වන විට) of 8.9x ක් වේ.

“අපගේ ආයෝජක සමුළුව සාර්ථක ලෙස අවසන් වූ බව නිවේදනය කරන්නේ මහත් සතුටින්. ආයෝජකයන් වෙත කරුණු ඉදිරිපත් කරමින් අපගේ වටිනාකම් පිළිබඳව ඔවුන් සමග ගැඹුරින් සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලැබුණා. මෙහිදී වැදගත් ප්‍රශ්න රාශියක් යොමුවුණු අතර, ඒවාට සාර්ථක ලෙස පිළිතුරු දීමට අපට හැකිවූවා. සමස්තයක් ලෙස ගත්විට, අපගේ ප්‍රථම පොදු කොටස් නිකුතුවට දේශීය හා විදේශීය ආයෝජකයන් වෙතින් ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව අපට විශ්වාසයි. කොටස් නිකුතුව සිදුවන දිනය ළඟා වෙමින් පවතින මේ මොහොතේ, Ex-Pack සමාගමේ සමස්ත කළමනාකාරීත්වය වෙනුවෙන්, අපගේ අනාගත ආයෝජකයන්, පාරිභෝගිකයන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් අප දක්වන කැපවීම මා නැවත වරක් අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කොරුගේටඩ් ඇසුරුම් සමාගමක් ලෙස, දිගන් දිගටම සියලුම පාර්ශ්වයන් වෙත වටිනාකම් තිළිණ කරමින් ඉදිරියට යාම අපගේ බලාපොරොත්තුවයි.” Ex-Pack සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එම්. සුල්ෆිකර් ගවුස් මහතා පැවසී ය.

Ex-Pack Corrugated Cartons සමාගම දශක දෙකකට අධික කාලයක් තිස්සේ නව නිෂ්පාදන රාශියක් හඳුන්වා දී ඇති අතර, රටවල් 8 කට අධික සංඛ්‍යාවක ප්‍රධාන පෙළේ සමාගම් හා සන්නාම ඇතුළත් සේවාදායකයන් පිරිසක් තමන් වෙත ආකර්ෂණය කරගැනීමටද සමත් වී තිබේ. විශේෂයෙන්ම ව්‍යාපාර සමග ගනුදෙනු කිරීම (B2B) සම්බන්ධයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති එම සමාගම මෙරට කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදනය සහ අපනයනය සම්බන්ධ ප්‍රමුයෙකු වන අතර, එහි අදායමින් 52% ක්ම ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් වලිනි. ශක්තිමත් සහ විවිධත්වයෙන් සපිරි නායකත්ව කණ්ඩායමක මෙහෙයවීම සමග නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදෙමින් ඉදිරියට යන එම සමාගම, ශ්‍රී ලංකාවේ නිපදවනු ලබන සමස්ත කොරුගේටඩ් ඇසුරුම් ප්‍රමාණයෙන් 5 න් 1 ක්ම නිපදවීම විශේෂත්වයකි.

Ex-Pack සමාගමේ නිෂ්පාදන අතරට කොරුගේටඩ් ඇසුරුම් වර්ග රාශියක් (Regular slotted cartons, die-cut cartons, laminated cartons) මෙන්ම, ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදාගන්නා සහ පාරිභෝගිකයන්ගේ විශේෂ ඉල්ලීම් අනුව නිපදවන ඇසුරුම් වර්ග රාශියක් ඇතුළත් වී ඇත. මේ අතරට, ඇඟලුම් වර්ග ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා යොදාගනු ලබන හැඟර් සහිත විශේෂ ඇසුරුම් වර්ග සහ, මත්ස්‍ය ප්‍රවාහනයට යොදාගන්නා සැහැල්ලු පෙට්ටි වර්ගද ඇතුළත් ය. තවද, මැතිවරණ දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරමින්, 2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණයේදී නවීන තාක්ෂණය භාවිතා කරමින් ඡන්ද පෙට්ටි නිෂ්පාදනය කිරීමටද සමාගම කටයුතු කළේ ය. ලොව පුරා පාරිභෝගික භාණ්ඩ, ඇඟලුම්, තේ සහ ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉහළම තලයේ සමාගම් හා සන්නාමයන් Ex-Pack සමාගමේ නිෂ්පාදන භාවිතා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *