ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සාර්ථක අදියරකට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදියරකට මේ වන විට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

ඒ සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තරව අනගි සහයක් ලැබුණු බව අමාත්‍යවරයා පැවසීය.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ඊයේ(14) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතැම් දියුණු රටවල් වයස්ගත පුරවැසියන්ට සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ පසුබිමක මෙරට වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවධානයක් ලබාදුන් බව අමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නේය.

මෙරට ක්‍රියාත්මක කළ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල රටෙහි කොවිඩ් පාලනයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාදුන් බවද එමගින් රෝහල්හි අනවශ්‍ය තදබදය වැළකී රෝගීන් අපහසුතාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා කීය. ගෘහස්ථ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 1.4% පමණ අවම පිරිසක් පමණක් රෝහල් කරා යොමු කළ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ වන විට කොවිඩ් පාලනයේ සාර්ථක අදියරකට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයිද ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තරික වශයෙන් බොහෝ සහයෝගයක් ලැබුණු බවද හෙතෙම කීය.

කොවිඩ් පාලනය කෙරෙන අතරතුර රෝගීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යද වඩාත් ඉහළ නැංවීමට හැකිවූ බවත් ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සැමගේ කැප කිරීම අගය කරන බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය.

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ කොවිඩ් වසංගතය තුළ කුඩා ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම ප්‍රබල යැයිද ඒ හැර අනෙකුත් බලපෑම් වලට සාර්ථකව මුහුණ දීමට රටට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා,ඉතා ඉහළ සංවිධානයකින් මෙන්ම කළමණාකරණයකින් යුතුව ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මේ වන විට සිදු කර ඇතැයිද එම සාර්ථකත්වයට ප්‍රසාදය හිමි වන බවද පැවසීය. එමෙන්ම එන්නත්කරණයේ සාර්ථකත්වය මේ වන විට ශ්‍රී ලංකාව ඔප්පු කර ඇතැයිද ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර ඇතැයිද ස්කූග් මහතා කීය.

සාර්ථක කොවිඩ් පාලනය සේම ඉදිරියේදී මෙරට දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් පිළබඳව තවදුරටත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයිද යුනිසෙෆ් නියෝජිතවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *