Uber සහ තරුණ හා ක්‍රීඩා අමාත්යාංශය එක්වී ‘Uber Entrepreneurship Challenge’ දියත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – Uber සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වී ‘Entrepreneurship Challenge’ නමින් විශේෂ ව්‍යවසායකත්ව තරගයක් දියත් කර තිබේ. මෙහි අරමුණ වී ඇත්තේ Uber සමග එක්වී සිටින අලෙවිසැල් හිමිකරුවන්, රියදුරන් සහ කුරියර් සේවා සම්පාදකයන් ඇතුළු හවුල්කරුවන්ට තම නවෝත්පාදක හා ව්‍යවසායකත්ව අදහස් අන් අය සමග හුවමාරු කරගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම ය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය සහිතව 2021 නොවැම්බර් මාසයේදී පවත්වනු ලබන උත්සවයකදී මෙම තරගයේ ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග පිරිනැමෙනු ඇත.

ශ්‍රී ලංකාව ඇතුළුව නැගී එන ආර්ථිකයන් සහිත රටවල් රාශියක ජීවනාලිය බවට පත්වෙමින් ඇති නවක ව්‍යාපාර තවදුරටත් දිරිගැන්වීම අතිශයින් වැදගත් ය. COVID-19 ව්‍යාප්තිය හමුවේ, තමන් සමග අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවන්ට ශක්තියක් වෙමින්, තම අනාගත ව්‍යවසායකත්ව ඉලක්ක ළඟා කරගැනීමට ඔවුන් යොමුකරවීම සඳහා නව ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට Uber තීරණය කළේ එබැවිනි.

ක්ෂේත්‍රය තුළ පුරෝගාමී පියවරක් වන මෙම ‘Uber Entrepreneurship Challenge’ වැඩසටහන, ව්‍යවසායකත්ව හැඟීම් අවදි කරමින් නවක ව්‍යවසායකයන්ට දියුණුව කරා යාමට මහඟු අත්වැලක් සපයනු ඇත. ආරම්භක මට්ටමේ පවතින ව්‍යාපාර වලට ශක්තිමත් ලෙස අභියෝග වලට මුහුණ දිය හැකි පරිසරයක් නිර්මාණය කරමින්, තම හවුල්කරුවන්ට නොසැලී දියුණුව කරා යාමට අවශ්‍ය ශක්තිය ලබාදීම මෙහිදී Uber සමාගමේ ප්‍රධානතම ඉලක්කය වී තිබේ.

“ශ්‍රී ලංකාව යනු අභයෝග වලට මුහුණ දිය හැකි, සුවිශේෂී දක්ෂතා සපිරි රටක්. රටේ අලුතින් ආරම්භ වන ව්‍යාපාර ඇතුළුව සියලුම ව්‍යාපාර වලට අත්වැලක් හිමිවන සම්ප්‍රදායක් රට තුළ ඇතිකිරීම අතිශයින් වැදගත්. Uber ව්‍යවසායකත්ව අභියෝගය මෙම සාමූහික ඉලක්කය සමග මැනවින් සමගාමී වන පියවරක් ලෙස හැඳින්විය හැකියි. මෙය අපගේ අමාත්‍යාංශය මගින් ආරම්භ කරනු ලබන ව්‍යවසායකත්ව වැඩසටහන් මාලාවක ආරම්භයක් වේවි. මෙම වැඩසටහනට සහභාගී වන්නන්ට ව්‍යවසායකත්වය සම්බන්ධ දැනුම හා අත්දැකීම් හිමිවනු ඇති බවත්, ඔවුන්ට තම අදහස් හා අත්දැකීම් ජනතාව සමග බෙදාහදා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් අප විශ්වාස කරනවා.” තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

“Uber Entrepreneurship Challenge වැඩසටහනේ ආරම්භය අප නිවේදනය කරන්නේ ඉතාමත් සතුටින්. අප සමග එක්වී සිටින අලෙවිසැල් හිමියන්, රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් ඇතුළු සියලුම දෙනාගේ ව්‍යාපාරික අදහස් හා සංකල්ප පිළිබඳව දැනගැනීමට මා ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාපාරික කටයුතු වල පදනම වන්නේ මේ පිරිසයි. තම ජීවනෝපාය මාර්ග මෙන්ම කර්මාන්ත හා ප්‍රජාවන්ද දියුණුව කරා රැගෙන යාමට ඔවුන්ට අත්වැලක් වීමට හැකිවීම අපට ගෞරවයක්. මෙම කාලෝචිත වැඩසටහන වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා.” Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාව තුළ Uber ව්‍යාපාර කටයුතු වල පදනම වන්නේ අලෙවිසැල් හිමියන්, රියදුරන් සහ ඩිලිවරි සේවා සහකරුවන් ඇතුළු හවුල්කරුවන් පිරිස ය. Uber Entrepreneurship Challenge යනු මේ සියලු දෙනාගේ යහපත උදාකර දීම සඳහා Uber ගන්නා නිරන්තර උත්සාහයේ එක් පියවරකි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය අන්තර්කරණය සම්බන්ධයෙන් සමාගම සතු දීර්ඝකාලීන ක්‍රමෝපායට සමගාමී පියවරක්ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *