දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතට

(ලංකාපුවත් | කොළඹ) – දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු කෙරේ.

වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් සිදු කරන අක්‍රමිකතා වැලැක්වීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වැලි තොටුපොළ අයිතිකරුවන් හා ටිපර් රථ රියදුරන් සමග වැලි බෙදාහැරීමේ කටයුතු විදිමත් කරලීම සඳහා පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස තමන්ට උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන් වර්තමානයේ වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් සිදුකරන පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මකබවින් ඉහළ වැලි තම ඉදිකිරීම් සඳහා යොදාගැනීමේ අවස්ථාව මහජනතාවට ලබාදීමත් අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.

දැනට වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ මනම්පිටිය වැලිවලටය. නමුත් ඇතැම් අතරමැදියන් මනම්පිටිය වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලකට අලෙවි කරනු ලබයි. එමනිසා රජය විසින් අතරමැදියන් සඳහා නොව වැලි ගොඩදමන කම්කරුවන් සහ වැලි මිල දී ගන්නා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.

මේ වනවිට මනම්පිටියෙන් රුපියල් 4830කට මිල දී ගන්නා වැලි කියුබ් එකක මිල වෙළෙඳපොලට එනවිට රුපියල් 6550ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ද මෙම අතරමැදියන් සිදු කරන ගසා කෑම නිසා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම වැලි කැණීම් හා වැලි මිල දී ගැනීමේ කටයුතු තවදුරටත් රාජ්‍ය ආයතනයක් වන GSMB Technical Services (PVT) Limited මගින් සිදු කෙරේ. ඔවුන් විසින් එම වැලි බෙදාහැරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට සැපයීමට නියමිතය. වැලි බෙදාහැරීමේ කටයුතු දැනට වැලි ප්‍රවාහණය කරන ටිපර් රථ මගින් සිදු කළ හැකිය.

එමනිසා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සමග සිදු කළ සාකච්ඡා මේ වනවිට සාර්ථකව ඇතැයි කී අමාත්‍යවරයා ලබන වසරේ සිට එම කටයුතු සිදු කිරීමට හැකිවනු ඇති බව ද පැවසීය.

එමෙන්ම මින් පසු වැලි නිකුත් කිරීමේ දී කිසිවෙකුහට හෝ ප්‍රමුඛත්වය ලබා නොදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =