පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්

(ලංකාපුවත් | කොළඹ) – ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ සහාය ඇතිව පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කටයුතු කරන බවත් ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපාන බවත් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය මගින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවත් වූ 2021 කොරියානු තානාපති ටයිකොන්ඩෝ ශූරතාවලියේ සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් ඊයේ(26) කොරියානු තානාපති කාර්යාලයේ දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම තරගාවලියේ සම්මානලාභීන්ට පළමුව මා සුබ පතනවා. කොවිඩ් වසංගතය නිසා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙවර කොරියානු තානාපති ශූරතාවලිය පැවැත්වීමට සිදු වූවා.

දෙරට අතර පවතින විදෙස් සබඳතාවට අමතරව ක්‍රීඩාවට කැමති හා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන තානාපති කෙනෙක් අපට ලැබීම සම්බන්ධව මා සතුටුවෙනවා.

මෙවැනිම සම්මාන උළෙලවල් දෙකකට මම කොරියානු තානාපති කාර්යාලයට මීට පෙර පැමිණ තිබෙනවා. මෙවැනි තරගාවලි සංවිධානය කිරීම පිළිබදව හා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට ඔබ ගන්නා උත්සාහය පිළිබදව ඔබසියලුදෙනාට ස්තූතිවන්ත වන අතර එය ඉතා අගය කරනවා.

ඉදිරියේදී මෙම තානාපති කාර්යාලයේ සහාය ඇතිව පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා.

ටයිකොන්ඩෝ ක්‍රීඩකයින්ට හා එම සම්මේලනය වෙත ඔබ ලබා දුන් ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගය පිළිබඳ ස්තූතිය පිරිනමන අතර එය ඔවුන්ගේ දක්ෂතා ඔප්නංවාගැනීමට බොහෝ උපකාරවේ යැයි මා විස්වාශ කරනවා.

රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික බැදීම වර්ධනය වන ලෙස කටයුතු කිරීම හා ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට වැඩි දායකත්වයක් ලබාදීම සම්බන්ධයෙන්ඔබට, ඔබේ රජයට හා මෙහි සිටින සුහදශීලී කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් ස්තූතිවන්ත වනවා.

මෙම කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදී ලබන වසරේ දී කොරියානු තානාපති ශූරතාවලිය සාමාන්‍ය පරිදි පැවැත්වීමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වන අතර සම්මාන ලැබූ සියලුදෙනාට මා සුබ පතනවා.‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.

කොරියානු රජය විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයවෙත සිදුකළ උපකරණ පරිත්‍යාගය කොරියානු තානාපතිතුමන් විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය වෙත භාරදීමත් මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවටකොරියානු තානාපති වූජින් ජියොන් මහතා(HE Woonjin Jeong), කොරියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ලිම් සො යොන් (Lim So Yeon), ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා, උප සභාපති කංචන ජයරත්න, ලේකම් රුවන් අලහකෝන්,Master Korea government Kukkiwon යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *