මානව අවශ්‍යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ජනපති ලොවට කියයි

(ලංකාපුවත් | කොළඹ) – මානව අවශ්‍යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයා කැද වූ දේශගුණික විපර්යාස පිළිබද රාජ්‍ය නායක සංවාදයට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වෙනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහිල් මහතා කැද වූ මිනිසා පෘථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම මැයෙන් වූ රාජ්‍ය නායක සංවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ සංවාදයට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල රාජ්‍ය නායකයින් මෙන්ම නියෝජිතයින්ද එක්ව සිටියහ.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුනු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමග පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බවයි එම සංවාදයට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා ්‍දුන්නේය. සංවර්ධිත ජාතීන් පෘථිවිය සුවපත් කරලීමට ඔවුන්ගේ කැපකිරීම් ඉටු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක්‍රියාත්මක කිරීම සදහා බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය බවද මෙහිදී සදහන් කළා. අප සිටිනුයේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවදියකයි. එහෙයින් දේශගුණික විපර්යාසයන්ට කඩිනමින් හා තීරණාත්මකව අවධානය යොමු කරමින් විසදුම් සෙවිය යුතු වනවා. ජාත්‍යන්තර වශයෙන් ගල් අගුරු විරහිත නව බලශක්ති සංයුතියේ සම නායකයෙකු වීම පිළිබද ශ්‍රී ලංකාව ආඩම්බර වන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබද ක්‍රියාකාරී කණ්ඩායමකද ශ්‍රී ලංකාව නායකත්වය සපයන බව තවදුරටත් සදහන් කළා. තිරසර නයිට්‍රිජන් කළමනාකරණය පිළිබද කොළඹ ප්‍රකාශය මගින් වසර 2030 වන විට නයිට්‍රිජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කිරීම ශ්‍රී ලංකාවේ උත්සාහයයි. කෘත්‍රිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් අතර එමගින් සෞඛ්‍ය ගැටලු විසදා ගැනීමට මෙන්ම නයිට්‍රිජන් අපද්‍රව්‍ය අඩු කර ගැනීමට හැකි වන බවද ජනාධිපතිතුමා පෙන්වා දෙන ලදි.

2050 වන විට ශ්‍රී ලකාවේ කාබන් ශූන්‍යතාව සාක්ෂාත් කර ගැනීම ඉලක්කය වන අතර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටි. එම ප්‍රශංසනීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපගේ සංවර්ධන න්‍යාය පත්‍රය සදහා තාක්ෂණික හුවමාරුව, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය ආධාර යන ක්ෂේත්‍රවලදී ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සතුටින් පිළිගන්නා බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී සදහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *