මීගමුව රොටරි සමාජයෙන් ගැබිනි මව්වරුන්ට උපකරණ

(ලංකාපුවත් | කොළඹ) –ගර්භණී මව්වරුන් සදහා රෝහල්ගත වීමේදී අත්‍යාවශ්‍ය වන උපකරණ තොගයක් මීගමුව රොටරි සමාජය විසින් ගැබිනි මව්වරුන් 50ක් දෙනෙකු සදහා ලබාදීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමිය විසින් පැමිණ සිටි ගර්භණී මව්වරුන්ට ගර්භණීභාවය තුල ලබාගත යුතු පෝෂණය පිළිබදවත්, දරුවා ඉපදුනු පසු දරුවාගේ පෝෂණය සිදුවිය යුතු ආකාරය පිළිබදවත් වටිනා උපදෙස් රැසක් ලබාදීමට කටයුතු කළ අතර දරුවාගේ මුල් අවුරුදු පහක කාලය වර්ධනයට බලපාන ආකාරය පිළීබදව සවිස්තරාත්මකව පැහැදිලි කළාය. ගර්භණී මව්වරුන්ට අත්‍යාවශ්‍ය වන උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට මීගමුව රොටරි සමාජය කටයුතු කිරීම ඉතාම වටිනා ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය රොටරි සමාජය වෙත සිය කෘතඥතාවය මෙහිදී පළකර සිටියාය.

රෝහල්ගත වීමේදී ගර්භණී මව්වරුන්ට අත්‍යාවශ්‍ය වන උපකරණ සමග දරුවා ඉපදීමෙන් පසු දරුවාට අවශ්‍යවන උපකරණ මේ සදහා ඇතුලත්ව තිබූ අතර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිය පුද්ගලික ධනයෙන් ගර්භණී මව්වරුන්ට අවශ්‍යවන බේබි බාත් බේසම් ලබාදීමටද කටයුතු කළාය.

මෙහිදී අදහස් දැක්වූ මීගමුව රොටරි සමාජයේ සභාපති විරාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා කියා සිටියේ උත්තරීතර මව් පදවිය දැරීමට කැපවී සිටින මව්වරුන් වෙනුවෙන් සමාජ වගකීමක් ඉටුකරන්නට මීගමුව රොටරි සමාජයට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකන බවත් දරුවන් රටක අනාගතය වන බැවින් එවැනි දරුවන් බිහිකරන මව්වරුන් රැකබලා ගැනීම සමාජයක් ලෙස සැමගේ වගකීමක් වන බවයි. පලමු අදියරේ මේ ආකාරයෙන් කටාන ගර්භණී මව්වරුන්ට අවශ්‍යවන උපකරණ ලබාදීම තවදුරටත් ඉදිරියට ගෙනයමින් සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මූලික කරගනිමින් ගර්භණී මව්වරුන්ට අවශ්‍යවන උපකරණ ලබාදීමට කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රනාන්දුපුල්ලේ මහතා වැඩිදුරටත් සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලක්ෂ්මන් විජේසූරිය, කටාන පොලිස් ස්ථානාධිපති තුෂාර ද සිල්වා, මීගමුව රොටරි සමාජයේ උපදේශක වෛද්‍ය ශ්‍රී රන්ජන්, භාණ්ඩාගාරික ජූඩ් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම් උදාර ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *