පුළුල් සැලසුම් හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජීවන රටාවන් සදහාම වෙන්වූ සේවාවන් නංවාලීමට eChannelling සූදානම්

(ලංකාපුවත් | කොළඹ) –ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට එය නව හවුල්කාරීත්වයන්, පවරා ගැනීම්, නව සැලසුම් සහ නවෝත්පාදන සමගින්, ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විශිෂ්ට ඩිජිටල් ජීවනරටාවන් සදහාම වෙන්වූසේවාවන් නංවාලීමට සූදානමින් සිටී. එම සමාගම මෙවර මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේදී වාර්තා කරගෙන ඇති විශිෂ්ට ප්‍රතිඵල, එම අනාගත සැලසුම් සඳහා අගනා පදනමක් වනු ඇත.

2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළ රු. මිලියන 47 ක ආදායමක් වාර්තා කිරීමට eChannelling සමත් වී තිබේ. මෙය පෙර වසරට සාපේක්ෂව 17% ක වර්ධනයකි. වසරේ මුල් මාස 9 තුළ මේ දක්වා වාර්තා වූ ආදායම, පෙර වසරේ අදාළ කාලසීමාවට වඩා 41% කින් ඉහළ ගොස්, රු. මිලියන 134 ක් ලෙස වාර්තා වී තිබේ.

“Mobitel පුද්. සමාගමට අනුබද්ධ සමාගමක් ලෙස eChannelling PLC, රටේ ඩිජිටල් තාක්ෂණ පසුබිම වෙනස් කිරීමට සූදානමින් සිටිනවා. නවීනතම නිෂ්පාදන හා විශිෂ්ට සේවාවන් හඳුන්වා දෙමින්, රටේ ඩිජිටල් ජීවන රටාවන් සදහාම වෙන්වූ සේවාවන් සදහා සැලකිය යුතු ක්‍රමෝපායික වෙනස්කම් ඇතිකිරීම ඔස්සේ මෙය සිදුකිරීම අපගේ බලාපොරොත්තුවයි. දශක දෙකක් තිස්සේ මෙරට ජනතාවගේ ජීවිත වල යහපත් වෙනස්කම් ඇතිකළ eChannelling සමාගම, දැන් සුවිශේෂී අනාගතයකට පියනැගීමට සූදානම්. ඒ ගමනට පිටුබලය ලබාදෙන්නේ, රටේ සෞඛ්‍ය සේවාවන් හා අනෙකුත් සේවාවන් ඩිජිටල්කරණය කිරීමටත් වැඩිදියුණු කිරීමටත් සුවිශාල දායකත්වයක් ලබාදෙන SLT-MOBITEL සමාගමයි.” SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

eChannelling සමාගමේ ශුද්ධ ලාභයද පෙර වසරට සාපේක්ෂව 19% කින් ඉහළ ගොස්, රු. මිලියන 16 ක් ලෙස වාර්තා වී ඇත. 2020 වසරේ මුල් මාස 9 තුළ සමාගමේ ලාභදායීත්වය රු. මිලියන 20 ක් වූ අතර, එය මෙම වසරේ මුල් මාස 9 තුළ 116% ක් තරම් විශාල ප්‍රතිශතයකින් වර්ධනය වී, රු. මිලියන 43 ක් බවට පත්වී තිබේ. මෙම ප්‍රතිඵල, ක්‍රමෝපායික වෙනස්කම්, ඒකාබද්ධ කරන ලද සේවාවන් සහ නව ආදායම් උපයන මාර්ග හඳුන්වා දීම් ආදිය ඔස්සේ, නව ප්‍රවණතාවන්ට අනුගත වෙමින් ශක්තිමත් ලෙස ඉදිරියට යාමට eChannelling PLC සතු හැකියාවට මනා සාක්ෂියකි. සෞඛ්‍ය සේවාවන් ඇතුළුව ක්ෂේත්‍ර රාශියකට දැඩි බලපෑමක් එල්ල වූ වසරක් තුළ සාර්ථක ලෙස අභියෝග වලට මුහුණ දෙමින්, තම සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමට eChannelling PLC සමත් වී ඇත.

තම ප්‍රථම දශක දෙකක කාලය තුළ eChannelling සමාගම, විවිධ පාර්ශ්වයන් සමග අත්වැල් බැඳගෙන සුවිශේෂී සේවාවන් එකතුවක් හඳුන්වා දෙමින්, රටේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකිරීමට සමත් විය. මෑතකදී eChannelling සේවාවන් තවදුරටත් පුළුල් කරන ලද අතර, ඒ ඔස්සේ පාරිභෝගිකයන්ට පෙර නොවූවිරූ පහසුවක් සලසමින්, ක්ෂේත්‍රයට නව ආදර්ශ රාශියක් සැපයීමටද සමාගමට හැකියාව ලැබී ඇත.

“සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍රයන් තුළද ඩිජිටල් තාක්ෂණික පරිවර්තනයන් සිදුකිරීමට පෙරමුණ ගැනීම සම්බන්ධයෙන් අප අත්කරගෙන තිබෙන සාර්ථකත්වය, තුන්වැනි කාර්තුවේ විශිෂ්ට ප්‍රතිඵල වලින් මැනවින් පිළිබිඹු වෙනවා. ඉදිරියේදී අපගේ ක්‍රමෝපායික සන්නාම දිශානතිය ඔස්සේ මෙම සාර්ථකත්වය තවදුරටත් පුළුල් වනු ඇති බව අප කියන්නේ සතුටින්. 2022 වසර අපගේ ක්‍රමෝපායික සැලසුම් සමගින්, ව්‍යාපාර කටයුතු කිහිප ගුණයකින් වර්ධනය වන වසරක් බවට පත්වේවි. ඒ ඔස්සේ ඩිජිටල් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අප සතු ස්ථානය තවදුරටත් තහවුරු වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” රොහාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසී ය.

2021 සැප්තැම්බර් 31 දින වන විට සමාගම රු. මිලියන 49 ක වත්කම් වර්ධනයක් වාර්තා කරගෙන ඇති අතර, මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 12% ක වර්ධනයකි. 2020 දෙසැම්බර් 31 වනවිට සමාගමේ සමස්ත වත්කම් වටිනාකම රු. මිලියන 392 ක් ලෙස වාර්තා වූ අතර, මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය අවසානයේදී එම අගය රු. මිලියන 441 ක් ලෙස වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පරිපූර්ණ විද්‍යුත් වාණිජ සේවාවක් හඳුන්වා දුන් ප්‍රථම සමාගම eChannelling PLC වන අතර, එය කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වූ ප්‍රථම තාක්ෂණික සමාගම් අතරින් එකක්ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *