පාස්කු ඉරිදා ප්‍රහාර ගැන නඩු 11ක් විභාග වෙමින් 46කට අධිචෝදනා

(ලංකාපුවත් | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව චුදිතයන් 46 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු එකොළහක් යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර, එම නඩු මහාධිකරණ හතක් තුළ මහාධිකරණ විනිසුරුවරුන් පහළොවක් ඉදිරියේ මේ වන විට විභාග වෙමින් පවතී.

පාස්කු දින ප්‍රහාර නඩු කටයුත්ත විශේෂ නඩුකරයක් බැවින් නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් ඇතුළුව කොළඹ, ගම්පහ, මහනුවර, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල මහාධිකරණ එකොළහක මේ නඩු විභාග කෙරේ. තවුහිද් ජමාද් සංවිධානයේ නායක ස්වයං ඝාතක මොහොමඩ් සහරාන් ඇතුළු ත්‍රස්තයන්ට අධාර අනුබල දුන් දැනට රක්ෂිත බන්ධනාගාරගත නවුෆර් මවුලවි ඇතුළු ත්‍රස්ත සැකකරුවන් 25 දෙනකුට එරෙහිව අධි චෝදනා 1,898ක් යටතේ නඩු පවරා ඇති අතර, රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට විරුද්ධව අධි චෝදනා 855 බැගින් ගොනු කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් පවරා එම නඩු දෙකක් විභාග වෙමින් පවතී. මීට අමතරව මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ වූවන්ට, අයිඑස්අයිඑස් මත දැරු පුද්ගලයන් පිළිබඳ පැමිණිලි නොකළ සැකකරුවන්ට, කාන්තන්කුඩි පුපුරවා හැරීම අත්හදා බැලූ තස්ත්‍රයන්ට, එම අත්හදා බැලීමට අවශ්‍ය ද්‍රව්‍ය දුන් අයට, මද්‍රාසා පාසල් පැවැත් වූ පුද්ගලයන්ට, අන්තවාදි මත පාසල් සිසුන් අතර බෙදා හැරි දේශකයන් ඇතුළු සැකකරුවන්ට මේ අධි චෝදනා ගොනු කර ඇත.

ත්‍රස්ත සැකකරුවන්ට අයත් රුපියල් මිලියන පන්සියකට අධික වටිනාකම් ඇති දේපොළ අධිකරණ නියෝග මත රාජසන්තක කර ඇත. තවුහිද් මතවාදය දැරූ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමටද කටයුතු කර ඇති අතර, එසේ තහනම් කිරීම අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *