කෘෂිකර්ම පර්යේෂණවල ප්‍රතිඵල ගොවි ජනතාව අතරට නොයෑම බරපතල අඩුවක්

(ලංකාපුවත් | කොළඹ) – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල වශයෙන් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සිදු කළත් ඒවායේ ප්‍රතිඵල ගොවි ජනතාව අතරට නොයෑම බරපතල අඩුපාඩුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේය.

මෙරට ගොවි ජනතාවට පෞද්ගලික ආයතන මත යැපෙන්නට ඉඩ නොදී සියලු ආකාරයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට නිලධාරින් කැපවිය යුතු බවද, වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම, ඊටත් වැඩියෙන් තමන් සේවය කරන ස්ථානය ගොඩ නැගීමට කැපවීම සියලු සේවකයන්ගේ යුතුකමක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෘෂිකර්ම පර්යේෂණවල ප්‍රතිඵල කඩිනමින් ගොවීන්ට ලබා දීමේ තීරසාර වැඩපිළිවලක් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉකුත්දා (03) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පේරාදෙණිය ගන්නොරුව තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේය.

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පනතට මේ වන විට අවුරුදු සියයක් විතර වෙනවා. එය වර්තමානයට ගැලපෙන ආකාරයට සංශෝධනය විය යුතුයි. නමුත් දෙපාර්තමේන්තුවේ කවුරුත් මට මේ දක්වා ඒ ගැන අදහස් යෝජනා ලබා දීලා නැ. දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය නොයෙක් ආකාරයෙන් කෘෂිකර්මය ගැන පර්යේෂණ කරනවා. ඒ වුණත් ඒ පර්යේෂණවල ප්‍රතිඵල ජනතාව අතරට යන්නේ නැ. මේ දෙපාර්තමේන්තුවේ සේවකයෝ 12,000ක් විතර ඉන්නවා. ඉන් 9000ක් විතරම කම්කරුවෝ. එහෙම වුණත් ගොවිපල් රටේ ආර්ථිකයට ගැලපෙන ආකාරයට සකස් කර ගන්න බැරි වී තිබෙනවා. මේ අඩුපාඩු හදාගෙන නව ජවයකින් නව වසරේ කටයුතු ආරම්භ කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙරට අංක එකේ දෙපාර්තමේන්තුව බවට පත් කර ගැනීමේ ක්‍රියාදාමයට සියලුදෙනාම සහාය දී කැපවීම අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙරටට ආනයනය කරනු ලබන අල, ලූණු හා මිරිස් ආනයනය නැවත්වීමටත් එම ආහාර ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවල සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහාය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගේ විශ්වාසය දිනා ගත් ආකර්ෂණීය දෙපාර්තමේන්තුවක් බවට පත් කර ගැනීමට අදාළ යෝජනා හා අදහස් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී වෘත්තිය සමිති නිලධාරින් පෙන්වා දුන්නේ රජය ප්‍රකාශයට පත් කර ඇති හරිත කෘෂිකර්ම වැඩපිළිවලට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගාමී තත්ත්වයක පවතින බව තමන්ද පිළිගන්නා බව සඳහන් කළ නියෝජිතයන් ඊට බලපා ඇති කරුණු අධ්‍යයනය කර ඒවාට විසඳුම් ලබා ගත යුතු බවද කීවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *