විපක්ෂයේ බොරු විවේචනවලට බිය නැහැ – රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

(ලංකාපුවත් | කොළඹ) – සාධාරණ විවේචන පිළිගන්නා බවත් විපක්ෂයේ බොරු විවේචනවලට බියේ පසුපසට නොයන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පසුගියදා(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා.

“උතුරු නැගෙනහිර කාලයක් තිස්සේ පැවති ගැටලු විසදීම සදහා බලය බෙදීම පිළිබඳව අපගේ කිසිම ගැටලුවක් නැහැ. උතුරු නැගෙනහිර ලොකු විෂමතාවයක් තියෙනවා කියලා කැලණි නව පාලම විවෘත කිරීමත්, කින්නියා සිදුවීම මුල් කරගෙනත් මතයක් හැදීමට විපක්ෂය කටයුතු කරනවා. අපේ රජයන් යටතේ කිසිම විටක උතුරු නැගෙනහිර කිසිදු අසාධාරණයක් කරලා නැහැ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. එතුමාගේ කාලේ උතුරු නැගෙනහිර විශාල සංවර්ධනයක් සිදු කළා.

යම් විෂමතාවයක් වුනානම් එහෙම වුනේ අවුරුදු 30 ක යුද්ධය නිසා. ඒක අපි සියලු දෙනා පිළි ගන්න ඕනේ කාරණයක්.

අපේ අමාත්‍යාංශය යටතේ උතුරු නැගෙනහිරට කිසිදු විෂමතාවයක් ඇති කරලා නැහැ. උතුරු නැගෙනහිර ජනතාව විශාල සහයෝගයක් දීලා බලයට ගෙනාපු යහ පාලන රජය කින්නියා පාලමට මුල්ගල තිබ්බා. හැබැයි පාලම හැදුවෙ නැහැ. ඒ නිසා එම සිදුවීමට වගකියනවම් වග කියන්න ඕනේ යහ පාලන රජය.

ජනතාව අනාරක්ෂිතව යනවා එනවා කියන එක දැනගෙන අපි පාලමේ ඉදිකිරීම් පටන් ගත්තා. පාලම හැදීමයි. පාරුව දැමීමයි දෙකක්. පාරුව දීලා තියෙන්නේ කින්නියා නගර සභාව. ඒක නිසා ඒ දෙක පටලව ගන්න එපා කියලා සුමන්තිරන් මන්ත්‍රීතුමාට කියනවා.

යාපනය දිස්ත්‍රික්කයේ කිලෝ මීටර් 300 ක් පටන් අරන් තියෙනවා. උතුරු නැගෙනහිර විතරක් අපි කිලෝ මීටර් 1,500 ක වැඩ පටන් අරන් තියෙනවා. ලංකාවේ කිසිම පළාතකට අපි අසාධාරණයක් කරලා නැහැ.

බලය බෙදා හැරීම ගැටලුවක් නැහැ. හැමදේටම දේශපාලනය ගාව ගන්න එපා. කින්නියා පාලමයි, කැලණි පාලමයි සංසන්දනය කරන්න එපා. ඒ දේ කරලා මිනිස්සු අතර වෛරයක් හදන්න එපා. අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ විදියට ප්‍රශ්නයක් තියෙනවනම් විසද ගන්න ඕනේ.

පසුගිය අවුරුදු දෙක ගත්තම ලෝකයේ බලවත්, ධනවත් රටවල්වලට මුහුණ දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා කොවිඩ් අර්බුදය. අපි කොවිඩ් අර්බුදය විසදෙයි කියලා හිතුවට අලුත් ප්‍රබේදයක් ඇවිත් තියෙනවා. ඒ නිසා ලෝකයම යළි තිගැස්සීමකට ලක්වෙලා. ලෝකයේ අපි අතර තිබුණු සබදතා නැවතිලා තියෙනවා. රටවල් වහන්න සිදු වෙලා තියෙනවා. සංචරණ සීමා දාන්න වෙලා තියෙනවා. මේ නිසා අපේ රටේ වගේම ලෝකයේ සංවර්ධනය යම් මට්ටමකට අඩපණ වෙලා තියෙනවා. ආර්ථිකය පසු බෑමකට ලක්වෙලා තියෙනවා. එවන් අමාරු අවස්ථාවක තමා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අය වැය ඉදිරිපත් කරලා තියෙන්නේ.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීම, කෘෂි කාර්මික, සත්ව නිෂ්පාදන වෙළදපොළට ගෙන යාමට, ගමේ ජනතාවට නගරයට එන්න අවශ්‍ය පහසුකම් සැලසීමට මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළා.

කිලෝ මීටරයක් හදන්න කීයක් යනවද කියලා යහපාලන රජයේ හිටපු මහාමාර්ග ඇමතිතුමා අහනවා. ඒ පාරේ හරියට පළල කියන්නේ නැතිව, ඒ පාරේ පිහිටීම බලන්නේ නැතිව ගාණක් හරියට කියන්න බැහැ. දිග, පළල හා භූමියේ පවතින ස්වාභාවය අනුව එකිනෙකට මිල ගණන් වෙනස් වෙනවා. වෙනස් වෙන දෙයක් ගැන ප්‍රශ්න ඇසීම මෝඩ ප්‍රශ්නයක්. ඒක තමා යහපාලන රජය එකම පාරක්වත් හැදුවේ නැත්තේ.

2015 – 2019 කාලය තුළ විපක්ෂයේ අය විසින් සැලසුම් කරලා හදලා ඉවර වුන එක කිලෝ මීටරයක් තියෙනවනම් කියන්න. 2012, 2013, 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමා සැලසුම් කරලා පටන් ගත්තුවා නෙමේ. 2015 – 2019 යහපාලනය ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සැලසුම් කරපු මාර්ග වැඩසටහන්.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය හැදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. යහපාලන රජය මධ්‍යම අධිවේගය විවෘත කරනවා කියලා මහනායක හාමුදුරුවන්ටත් බොරු කීවා. මුලත් නැති අගත් නැති පාරක් විවෘත කරන්න පුළුවන්ද? ලෝකයේ කොහෙ හරි එහෙම විවෘත කරලා තියෙනවද? ඒ නිසා මාර්ග සංවර්ධනය ගැන කතා කළොත් මහින්ද රාජපක්ෂ යුගයට ගහන්න යුගයක් නැහැ.

මුදල් ඇමතිතුමා මාර්ග සංවර්ධනයට වෙන් කරලා තියෙන මුදලින් ජනාධිපතිතුමාගේ කිලෝ මීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ අවුරුද්දකට කිලෝ මීටර් 20,000 ඉලක්කයට යන්න බැහැ කියලා කබීර් හෂීම් මහතා කියනවා. ඒකට උත්තරයක් දෙන්න ඕනේ. කිලෝ මීටරයක් හදන්න යන මුදල තැනින් තැනට වෙනස් වෙනවා. ග්‍රාමීය මාර්ග ලක්ෂයකට වැඩිය හඳුනගෙන තියෙනවා. ග්‍රාමීය මාර්ගයක කිලෝ මීටරයක් සමහරවිට රුපියල් ලක්ෂ 60 කට විතර හදන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒ නිසා මේ අවුරුද්දෙ වෙන් කරලා තියෙන මුදල්වලින් කිලෝ මීටර් 25,000 ක් හදන්න පුළුවන්.

අපිට ලෝක බැංකු අධාර ඩොලර් මිලියන 500 ක් ලැබිලා තියෙනවා. ලෝක බැංකුව අපිට ප්‍රශංසා කරලා තියෙනවා. කොවිඩ් නිසා ලෝකේ අනිත් රටවල්වල සංවර්ධනය නතර වුනාට අපේ රට ණය ආධාර නිවැරදි කළමනාකරණය කරලා සංවර්ධන වැඩ කරලා තියෙනවා කියලා. ඒ නිසා කරපු වැඩවලටත් ගෙවන්න කියලා තවත් ඩොලර් මිලියන 75 ක් දීලා තියෙනවා. අපි වැඩ නොකර හිටියනම් හම්බ වෙන්නෙ නැහැ.

කොවිඩි මැද්දෙ පාරවල් හදනකොට විපක්ෂය අහනවා පාරවල් හදන්නෙ කන්නද කියලා. අනිත් පැත්තෙන් අහනවා කින්නියා පාලම හදන්න පරක්කු වුනා. ඒ නිසයි මේ සිද්ධිය සිද්ධ වුනේ කියලා. විපක්ෂය “යන්නේ කොහෙද මල්ලේ පොල්”. වැඩ තමා කරන්නේ.

අපි කොවිඩ් කාලේ මේවා කරන්නේ ඉතා අමාරුවෙන්. සංචරණ සීමා දාලා, මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් මේවා කරන්නේ ඉතා අමාරුවෙන්. ජනාධිපතිතුමා ලබා දී තියෙන කිලෝ මීටර් ලක්ෂයේ ඉලක්කය සපුර ගන්න. අමාරුවෙන් කරන දේට ප්‍රශංසා කරනා වෙනුවට. ඉලක්කම් අරගෙන කියනවා කරන්න බැහැ කියලා ආපස්සට අදින්න හදනවා.

ලෝක බැංකු ආධාර හම්බවෙලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලැබිලා තියෙනවා. රුපියල් බිලියන 92 ක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා කිලෝ මීටර් 20,000 ක් අනිවාර්යෙන් හදන්න පුළුවන් කියලා කියනවා. හැබැයි අපිට තියන ප්‍රශ්නය කොවිඩ්. කොවිඩ් අර්බුදය වැඩිවුනොත් පාරවල් හදන්න බැහැ. හැබැයි ඒ අභියෝගය තියාගෙනත් අපි පාරවල් හැදුවා.

කොවිඩ් කාලේ මිනිස්සු ගෙවල්වල ඉදන් වැඩ කළේ සූම් තාක්ෂණයෙන්. සූම් තාක්ෂණයෙන් පාරවල් හදන්න බැහැ. එහෙම හදන්න තිබුනානම්, මේ වෙනකොටත් කිලෝ මීටර් 25,000 ක් හදලා ඉවරයි. මේවා විපක්ෂයට තේරෙන්නේ නැද්ද? මේවා මහපොළවේ ප්‍රායෝගිකව කරන්න ඕනේ වැඩ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීලා තියෙන කිලෝ මීටර් ලක්ෂයේ ඉලක්කය අපි අවුරුදු පහ තුළ හදලා ඉවර කරනවා.

කොවිඩ් එක විතරක් නෙමේ විපක්ෂයත් අපේ වැඩවලට බාධා කළා. ලංකාගම පාර හදනකොට විපක්ෂය චෝදනා කළා පරිසරය විනාශ කරනවා කියලා. බලන්න කොච්චර ලස්සනට පරිසරය ආරක්ෂා කරගෙන හදලා තියෙනවද කියලා. මීමුරේ විනාශ කරනවා කීවා. බලන්න අද දේශීය සංචාරකයෝ කොච්චරක් යනවද කියලා. මධ්‍යම අධිවේගය හදනකොට ලෝකේ තියෙන එකම ගහ කපන්න දෙන්න බැහැ කීවා. අපි බලපුවාම ඕන තරම් ගස් තිබ්බා. ඒ නිසා සැලසුම වෙනස් කරා නම් ලක්ෂ 80,000 ක් රටේ ජනතාවගේ මුදල් අමතරව වැය වෙනවා. තව ගස් තිබ්බ නිසා අපිට ඒ මුදල් ඉතිරි කරලා දීලා තියෙනවා.

සාධාරණ විවේචන අපි පිළි ගන්නවා. මධ්‍යම අධිවේගය හදද්දි ගං වතුරක් ආවාම ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ යට වුනා. ගම්පහ ජනතාව කිව්වා තාවකාලික සැපයුම් මාර්ග නිසා ගං වතුරට යට වුනා කියලා. අවශ්‍ය විසදුම් ලබා දුන්නා. එම කොටස කුළුණු මතින් අධිවේගී මාර්ගය ඉදිවෙනවා.

කොවිඩ් කාලෙත් කොළඹ නගරයේ ගුවන් පාලම් කීයක් හදන්න පටන් ගත්තද? කොළඹ රථවාහන තද බදය අවම කරන්න. නව කැළණි පාලම දින 56 යි පරක්කු වුනේ කොවිඩ් නිසා. මුළුරටම වැහිලා තිබුනා ඊට වැඩිය. අපි ඒ පිරිසට උපහාර පිදුවා. ඇයි ? ඒ. කොවිඩ් නිසා මිනිස්සු ගෙවල්වලට වෙලා ඉද්දි ඒ පිරිස තම ජීවිත පරදුවට තියලා මේ රටේ අනාගතයේ ඉපදෙන්න ඉන්න පිරිසට හොඳ මාර්ග පද්ධතියක් හදලා දෙන්න.

අපි පැහැදිලිව කියනවා සාධාරණ විවේචනවලට ඇහුම් කන් දෙන්න කැමතියි. බොරු විවේචනවලට අපි පැනලා යන්නේ නැහැ. අපි ගන්න තීන්දු ආපස්සට ගන්නෙ නැහැ. ඒ නිසා තමා අපේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න පුළුවන් වුනේ. ඒ නිසා තමයි ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුවේ ඇගයීමට ලක් වුනේ.

පාරවල් 68,000 කට වැඩි ප්‍රමාණයක් හදුනගෙන තියෙනවා. 35,000 කට එහා ඇස්තමේන්තු කරලා තියෙනවා. 30,000 කට එහා ටෙන්ඩර් දීලා තියෙනවා. ඒ නිසා 2022 වෙනකට කිලෝ මීටර් 40,000 සම්පුර්ණයෙන් හදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. පාලම් 5,000 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. පාලම් 800 ක ඉදිකිරීම් ලබා දීලා තියෙනවා. සැලසුම් කළ සියලු පාරවල් හදලා ඉවරයි. එහෙම නැතිනම් හදන්න පටන් අරන්. ඒ නිසා අපි උතුරටත්, නැගෙනහිර අම්පාරටත් අධිවේගී මාර්ග ජාලය දිගු කරන්න සැලසුම් කරමින් යනවා. මේ සියලු අධිවෙිගී මාර්ග ජාලය එකට ඒකාබද්ධ වුනාම ජනතාවට විශාල කාලයක්, මුදලක් ඉතිරි වෙනවා. ඒ වගේම පරිසරය ගැන කතා කරපු අය මහ පොළවේ එක පැළයක් සිටුවලා නැහැ. අපේ අමාත්‍යාශය දැනට පැළ ලක්ෂයක් සිටුවලා තියෙනවා. ලබන වසරේ පැළ ලක්ෂ 10 ක් සිටුවනවා. කටින් බතල හිටවන අය නෙමේ අපි සැබෑ ලෙස මහපොළවේ වැඩ කරන අය බව” රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *