තරුණ ලියෝ නායකයෝ සිව්දෙනෙක් “ජාත්‍යන්තර සිංහ සභාපතිගේ විශිෂ්ට නායකත්ව සම්මාන” ලබති

(ලංකාපුවත් | කොළඹ) – ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ සභාපති විසින් පිරිනමන විශිෂ්ට නායකත්ව සම්මාන දිනාගත් තරුණ ලියෝ නායකයන් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) අරලියගහ මන්දිරයේ දී එම සම්මාන පදක්කම් පැළැඳවිය.

කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජයේ බිනුජ අමරනායක, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ ලියෝ සමාජයේ හිටපු සභාපති තරිඳු රණවීර, කොළඹ ආනන්ද විද්‍යාලයේ ලියෝ සමාජයේ හිටපු සභාපති සුනෙර ලැනරෝල් සහ හොරයිසන් විශ්ව විද්‍යාලයේ හිටපු ශිෂ්‍ය කමිටු නායක සහ කොළඹ නයිට්ස් ලියෝ සමාජයේ හිටපු සභාපති ඉඳුනිල් උදාර පලිහවඩන මෙසේ සම්මාන පදක්කම් හිමිකර ගත්හ.

ලොව විශාලතම හා සක්‍රීයතම ස්වෙච්ඡා සංවිධානයක් වන ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානය විසින් ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයින් සඳහා මෙම සම්මාන පදක්කම පිරිනමයි.

ජීවිතයට එක් වරක් පමණක් පිරිනමන මෙම පදක්කම වසරක් වැනි කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලාංකිකයන් සිවු දෙනෙකුටම හිමිවීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානයේ පෙර සිංහාධිපති සහ ලියෝ සමාජ භාර උපදේශක ලසන්ත ගුණවර්ධන මහතා මෙහි දී ජාත්‍යන්තර සිංහ සභාපතිගේ පළඳනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැළඳවිය.
කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජයේ බිනුජ අමරනායක සිසුවා විසින් මෙහි දී රාජකීය විද්‍යාලයේ ලියෝ සමාජය පළ කරන ලියෝ සඟරාව අග්‍රාමාත්‍යතුමාට පිරිනැමුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *