ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට

(ලංකාපුවත් | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

බලශක්ති අමාත්‍යාංශයේ පැවැති අද(31) පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා අයි ඕ සී සමාගම හා එක්ව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51% ක කොටස් හිමිවන ලෙස පිහිටුවන නව සමාගමක් හරහා සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඛනිජ තෙල් සංස්ථාව ඝෘජුව ලබා ගන්නා ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබාගන්නා ටැංකි 61 සමඟ සමස්ත ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙන බවත් ලංකා අයි ඕ සී සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණක් බවත් ඇමති ගම්මන්පිල සඳහන් කළේය.

ලංකා අයි ඕ සී සමාගම විසින් මේ වන විටත් කළමනාකරණය කරන එම තෙල් ටැංකි 14 පමණක් තවත් වසර 50ක කාලයක් සඳහා බදු දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේද කීය.

අපි ඉන්දියාව සමඟ ඇති කර ගත් එකඟතාවය අනුව තෙල් ටැංකි 99න් 24ක් ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙනවා. ඒ අනුව 1987 දී හවුලේ සංවර්ධනය කරනවා යැයි කියලා ඇති කර ගත් එකඟතාවයෙන් ටැංකි 24ක් මුදවා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම දැනට ලංකා අයි ඕ සී සමාගම භාවිතා කරන තෙල් ටැංකි 14 පමණක් තව දුරටත් ඔවුන්ට වසර 50කට බදු දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉතිරි ටැංකි 61 ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කොටස් 51%ක් තිබෙන, ඉතිරි 49% ලංකා අයි ඕ සී සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා.

මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත්කරන්නේ තෙල් සංස්ථාවෙන්. සභාපති ධූරය හිමිවන්නේ තෙල් සංස්ථාවට. ඒ වගේම විගණකාධිපතිවරයා විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන් සමාගම ගැන. විෂයභාර ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ.

තෙල් සංස්ථාව ඝෘජුව ලබාගන්නා ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබාගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තම සමස්ථ ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙනවා. ලංකා අයි ඕ සී සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි.

1987 සහ 2003 ගිවිසුම්වලින් ඉන්දියාවේ පාලනයට නතු කරපු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ පාලනයට ලබා ගැනීමට හැකි වීම ඓතිහාසික ජයග්‍රහණයක් විදියටයි අපි දකින්නේ.

පහුගිය කාලයේ එකදිගටම දුක්බර ප්‍රවෘත්ති අසමින් සිටි අපේ රටේ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක් ලබා දීමට පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා.

මම මේ මාධ්‍ය සාකච්ඡාවය සහභාගි වුණේ මගේ අත්සනින් යුතුව ඒ වගේම ඉඩම් අමාත්‍යවරයාගේ අත්සනද සහිතව කැබිනට් ප්‍රතිකාව ජනාධිපති ලේකම්වරයාට යැවීමෙන් පසුවයි. එය ජනවාරි 03 වැනිදාට පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි. කැබිනට් අනුමැතියෙන් පසු ගිවිසුම් අත්සන් කිරීමට අපට දිනයක් තීන්දු කරගත හැකියි. ඉන්පසුව පමණයි මට එහි ගිහින් ජාතික ධජය නැංවිය හැක්කේ. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *