සණස ව්‍යාපාරය 40වන සංවත්සරය සමරයි

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය මෙන්ම ආදරය දිනාගනිමින්, ජනතාවත් සමග ඉපිද වර්ධනය වූ සණස ව්‍යාපාරය පසුගියදා සිය 40 වන සංවත්සරය සමරනු ලැබීය.

මෙයට සමගාමීව එම ව්‍යාපාරයේ නිර්මාතෘ සහ මතවාදී නායක ආචාර්ය පී. ඒ. කිරිවන්දෙනිය මහතාගේ 80වන ජන්ම දිනය සමරමින් සණස රක්‍ෂණ සමාගමේ සභාපතිතුමන්, අධ්‍යක්‍ෂ මණ්ඩලය, ප්‍රධාන සාමාන්‍යාධිකාරිතුමන්, කළමනාකාරීත්වය සහ එහි කාර්ය මණ්ඩලය විසින් සිය එතුමන් හට දිර්ඝායු ප්‍රාර්ථනා කරමින් ඔහුගේ දැක්ම ඔස්සේ යමින් සුවිශේෂී ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කිරීමට යොමුවිය.

එවකට පැවති රජය විසින් විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමඟ 1978 වසර සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය කිරිවන්දෙනිය හට සුවිශේෂි වසරක් වන්නේ, ග්‍රාමීය අංශයේ කුඩා සමුපකාර සමිති 935ක් සමගින් එක්ව කටයුතු කිරීමට අවස්ථාව උදාවීමයි. එයින් පන්නරය ලැබූ මෙම ව්‍යාපාරය, වසර ගනනාවක් පුරා එතුමන්ගේ නායකත්වය යටතේ දිනෙන් දින වර්ධනය විය. සණස සංවර්ධන බැංකුව, සකසුරුවම් සහ ණය සමුපකාර සමිති සම්මේලනය, සණස අධ්‍යාපන මණ්ඩපය, සණස රක්‍ෂණ සමාගම්, සණස ඉංජිනේරු සහ සංවර්ධන සමාගම (SEDCO), සණස පාරිභෝගික නිෂ්පාදක සන්ධානය (SANEEPA) ඇතුලු ආයතන රැසක් සණස යටතේ බිහිවීමට ඔහුගේ දැක්ම සහ ප්‍රායෝගික නායකත්වයේ ගුණාංග බෙහෙවින් ඉවහල් වී ඇත. තවද ආසියනු කලාපය තුළ ක්‍ෂුද්‍ර මූල්‍ය සහ ක්‍ෂුද්‍ර ණය ක්‍ෂේත්‍රය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දී ඇති මෙතුමන්, එම අංශය වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ කැපවීම දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ඉහළ ඇගයීමට ලක්ව ඇත.

කීර්තිමත් නායකයකු ලෙස වර්තමානය වන විට සණස ව්‍යාපාරයේ ආයතන කිහිපයක අධ්‍යක්‍ෂ තනතුරු දරණ එතුමන්, ආසියනු ණය සමිති සම්මේලනයේ (ACCU) සභාපති, අන්තර්ජාතික සමූපකාර සහ අන්‍යෝන්‍ය රක්ෂණ සම්මේලනයේ ආසියා සහ ඕෂනියා සංගමයේ (AOA) උප සභාපති, මහජන බැංකුවේ සභාපති, ප්‍රාදේශීය සංවර්ධනය බැංකුවේ අධ්‍යක්‍ෂ මෙන්ම ජාතික සමුපකාර කළමනාකරණ ආයතනය සහ ජාතික සමුපකාර සභාවේ සභාපති වැනි කීර්තිමත් නිලයන් දැරූ වෘත්තීයවේදියෙකි. එමෙන්ම ඔහුගේ අත්දැකීම් දකුණු ආසියාව, දකුණු අප්‍රිකානු රටවල් කිහිපයක වගේම එක්සත් රාජධානිය, ජපානය සහ යුරෝපය ඇතුලු මහාද්වීප පුරා විහිදී ඇත.

අද දිනය ඔහුට තවත් අතකින් සුවිශේෂි වන්නේ, 40 වසරක කාලයක් මෙම ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ඔහු සිදුකළ කාර්යයන් අපේක්‍ෂා සහගත අයුරින් තරුණ ප්‍රජාව වෙත පිළිගැන්වීමට සැළසුම් කර තිබීමය. මෙහිදී ආචාර්ය කිරිවන්දෙනිය පැවසූයේ, “මගේ දැක්ම පුද්ගලික වූවක් නොවේ, එය සැමවිටම සමාජය සඳහා යි” යනුවෙනි. දශක 4ක කීර්තිමත් ඉතිහාසයක් ඇති සණස, සන්නාමයක් ලෙස ලාංකීය ජනතාවගේ හදවත් තුළ සිනටුහන් වූයේ දරිද්‍රතාවය පිටුදැකීමේ සහ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපායන් නැංවීම දැක්ම පෙරදැරි කරගත් ශක්තිමත් ජන බලයක් ලෙසිනි.

ඉතිහාසය තුළින් පාඩම් ඉගෙන ගනිමින්, ජාතියක් ලෙස ඉදිරියට යාමට නිරන්තරව තරුණ ප්‍රජාව ශක්තිමත් කරන අචාර්ය කිරිවන්දෙනිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “ස්ථර කීපයක තිබෙන වැරදි කළමනාකරණය නිසා රටක් විදිහට අපේ දරිද්‍රතා මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ වගේම නූතන සමාජය තුළ තනිපුද්ගල උත්සාහයන් පවා අඩු මට්ටමක තමයි පවතින්නේ. මේ නිසා රටක් විදිහට ඉදිරියට යාමට නම් අපට ධනාත්ම ආකල්ප අවශ්‍යයි.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *