ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තබයි

(ලංකාපුවත් | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම ඊයේ(06) මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරුන් මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ. ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම ගිවිසුමට අනුව මෙතෙක් ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනය යටතේ පැවති ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව සතුවේ.
ඒ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි 24ක් , ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක් ලෙසිනි. ඉන්දියානු ලංකා තෙල් සමාගමට (LIOC) හිමි වන ටැංකි සංඛ්‍යාව 14කි.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49% ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි. එහි අධ්‍යක්ෂක මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනෙකුගෙන් ද ලංකා ඉන්දියා තෙල් සමගම විසින් පත් කරන 3 දෙනෙකුගෙන් ද සමන්විත වන නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසිනි.

ජනවාරි 10 වැනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන නව ගිවිසුම් 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනවාරි 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියටද මෙම ගිවිසුම් එක්කෙරේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් 1920 දශකයේ දී ඉදිකරන ලද අතර අක්කර 827 ක වපසරියක විහිදුනු මෙට්‍රික් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100කින් සමන්විත විය. දෙවන ලෝක යුධ සමයේ 1942 අප්‍රේල් මස 9 වැනිදා එල්ල වුණු ජපන් ගුවන් ප්‍රහාරයක් නිසා මේ එක් ටැංකියක් විනාශ විය.

1987 ජුලි 29 වන දින ඉන්දියානු අගමැති හා ලංකාවේ ජනාධිපති අතර හුවමාරු වූ ලිපියේ 2(iii) වගන්තිය අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට එකඟ විය.

2003 වසරේ පෙබරවාරි 07 දින අත්සන් කළ ගිවිසුමක් මත 35 වසරකට බදු පදනම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99 ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට භාර දෙනු ලැබීය. නමුත් ලංකා ඉන්දියානු තෙල් සමාගම එහි භාවිතයට ගනු ලැබුයේ ටැංකි 14 පමණක් වන අතර ඉතිරි ටැංකි කිසිදු ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් පැවතිණි.

2017 දී මෙම ටැංකි 99ම වසර 99 දක්වා බදු පදනමට ඉන්දියාවට ලබා දීමට මලික් – සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවකට පැවැති ආණ්ඩුව එකඟ විය. මාස 16ක් පුරා ඉන්දියාව සමඟ පැවැති සාකච්චා සාර්ථකව අවසන් කිරීමෙන් අපට වඩාත් වාසිදායක එකඟතාවයක් ඇති කර ගැනීමට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *