අමාත්‍යංශ 10ක විෂය පථයන් වෙනස් කරමින් නව ගැසට් නිවේදනයක්

(ලංකාපුවත් | කොළඹ) –අමාත්‍යංශ කිහිපයක විශය පථයන් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ(10)නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල, බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

එමෙන්ම බන්ධනාගාර කලමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඉවත් කර ඒ යටතේ තිබූ සියලුම ආයතන හා සුවිශේෂ කාර්යයන් අධිකරණ අමාත්‍යංශයට යටතට පවරා ඇත.

මීට අමතරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ තිබූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත පත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය යටතටය.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ සුවිශේෂ ප්‍රමුඛතා යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය ඇතුළත් කර තිබේ.

එසේම, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය යටතේ තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත සහ පළාත් සභා ඡන්ද විමසීමේ පනත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් කර ඇත.

මෙම සියලු පත් කිරීම් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *