සෙලාන් බැංකුව යළිත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක එකට අඛණ්ඩව 3වන වරටත් LMD සමීක්ෂණයේ පෙරමුණට පැමිණේ

(ලංකාපුවත් | කොළඹ) – සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වන වරටත් LMD සඟරාවේ පාරිභෝගික සේවා විශිෂ්ටත්ව සමීක්ෂණයේදී බැංකු කාණ්ඩයේ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ආරම්භයේ සිටම සෙලාන් බැංකුව සිය ව්‍යාපාර ආකෘතිය තුළ ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබේ.

පසුගිය වසර දෙකක කාලය තුළ COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවද, පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් තම සේවාවන් දිගින් දිගටම වැඩිදියුණු කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මෙම උත්සාහය ගනුදෙනුකරුවන්ගේ ඇගයීමට ලක්වී ඇති බව, මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් මැනැවින් තහවුරු වේ.

“අඛණ්ඩව වසර 3 ක කාලයක් තිස්සේ මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පාරිභෝගික විශිෂ්ටත්වය අතින් අංක එකේ බැංකුව ලෙස පිළිගැනීමට ලක්වීම අපට මහත් සතුටක්. පාරිභෝගික සේවා විශිෂ්ටත්වය යනු ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම ආයතනයකට අතිශයින් වැදගත් වන දෙයක්. COVID-19 අතරතුර මුහුණ දීමට සිදුවූ සීමාවන් නිසා, සේවාවන්ගේ විශිෂ්ටත්වය පවත්වාගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්වුණා.

එවැනි තත්ත්වයක් හමුවේ පවා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වලට මුල්තැන දෙමින්, එම අවශ්‍යතා නොපිරිහෙළා ඉටුකිරීමට අපගේ කාර්ය මණ්ඩලය පසුබට වුණේ නැහැ.” සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසී ය.

ආරම්භයේ පටන්ම පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම සඳහා සෙලාන් බැංකුව පියවර රැසක් ගෙන තිබේ. වෙළඳපොළ තුළ සෙලාන් බැංකුව සම්බන්ධයෙන් පවතින ආකල්ප හඳුනා ගැනීම සඳහා, බැංකුවේ පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ කණ්ඩායම කලින් කලට පාරිභෝගික තෘප්ති සමීක්ෂණයන් සිදුකරයි. මීට අමතරව
ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදිය හැකි ආකාරය හඳුනා ගැනීම සඳහා වසර පුරාම ‘Mystery Shopper’ පාරිභෝගික සමීක්ෂණ සිදුකිරීමට බැංකුව පියවර ගෙන ඇත. මේ හේතුවෙන් සාමාන්‍ය සේවාවන් තුළදී මෙන්ම ඩිජිටල් සේවාවන් තුළදීද අඛණ්ඩව සේවා විශිෂ්ටත්වය පවත්වා ගැනීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී තිබේ.

2021 වසරේ තුන්වන කාර්තුවේදී LMD මගින් සිදුකරන ලද පුළුල් මාර්ගගත සමීක්ෂණයකින් අනතුරුව පාරිභෝගික සේවා විශිෂ්ටත්ව ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත්කරන ලදි. මෙම සමීක්ෂණය තුළදී රටේ ක්ෂේත්‍ර 18 කට අදාළ සේවා සන්නාමයන් සම්බන්ධයෙන් පාරිභෝගික කැමැත්ත විමසන ලද අතර, මෙහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු අතරින්, පාරිභෝගික සේවාව අතින් විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව තෝරාගැනීමට පාරිභෝගිකයන් කටයුතු කර ඇත.

“අපගේ ඉලක්ක සපුරා ගැනීමට කැපවුණු සෙලාන් කාර්ය මණ්ඩලයටත්, මේ දුෂ්කර කාලපරිච්ඡේදය තුළදී අප කෙරෙහි නොසැලෙන විශ්වාසය තැබූ ගනුදෙනුකරුවන් සියලුම දෙනාටත් මගේ ස්තූතිය හිමිවනවා. සෙලාන් බැංකුව යනු කවදත් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට මුල්තැන දුන් බැංකුවක්. එය කිසි දිනක වෙනස් වන්නේ නැහැ.” කපිල ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.

සෙලාන් බැංකුව යනු 2020 වසරේදී COVID-19 රෝගය රට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමග, ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් තම සේවාවන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලබාදීමට සහ ජංගම ATM සේවාවන් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ මුල්ම බැංකු අතරින් එකකි. එතැන් සිට අතථ්‍ය (Online) වැඩමුළු ආදිය ඔස්සේ, ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීමට හැකි වන පරිදි විවිධ කාණ්ඩ වලට අයත් ගනුදෙනුකරුවන් නිරන්තරයෙන් දැනුවත් කිරීමට සහ ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට සෙලාන් බැංකුව පියවර ගණනාවක් ගෙන ඇත. තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනාගේ යහපතට මුල්තැන දෙන සෙලාන් බැංකුව, COVID-19 මර්දනය කිරීමේ ජාතික සටනටද දායක වෙමින්, සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාගයන් රැසක් සිදුකර තිබේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි.

ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම
බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *