ශ්‍රී ලංකා පොලිසියට විශේෂ හින්දි භාෂා පාඨමාලාවක්

(ලංකාපුවත් | කොළඹ) –2022 ජනවාරි 10 වන දිනට යෙදුණු ලෝක හින්දි දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි භාෂා ප්‍රවීණතා පාඨමාලාවක් ආරම්භ කර තිබේ.

මෙම පාඨමාලාව සමාරම්භ කිරීමේ උත්සවය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුනි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා ද ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ද සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 70ක් සහ ශ්‍රී ලංකා පොලිස් සාමාජිකයන් රැසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

උත්සවය අතරතුර දී වැඩබලන මහ කොමසාරිස්තුමා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ සහ විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ විශේෂ පණිවුඩයන් ඉදිරිපත් කළේය. විදේශ කටයුතු සහ සංස්කෘතිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛි මහත්මියගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ වීඩියෝ පණිවුඩ ද මෙම අවස්ථාවේ දී විකාශය කළේය.

ලෝක හින්දි දිනය නිමිත්තෙන් සිය සුභාශිංශන එක් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හින්දි භාෂාවේ ජනප්‍රියතාවය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තුළ එය භාවිතා කිරීම ඉහළ යමින් පවතින බව පෙන්වා දුන්නේය. විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ද ලෝක හින්දි දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර ලොව පුරා විවිධ රටවල ඉන්දියානු තානාපති කාර්යාල විසින් එම දිනය සැමරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් සිය සතුට පළ කළේය. රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛි මහත්මිය හින්දි භාෂාව සාමයේ සහ සහානුකම්පාවේ භාෂාවක් වශයෙන් ඉන්දියාව ලෝකයේ සෙසු රටවල් සමඟ සම්බන්ධ කිරීමෙහි ලා වැදගත් භූමිකාවක් ඉටු කරන බව අවධාරණය කළාය. සිය විශේෂ වීඩියෝ පණිවුඩයේ දී මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සහ වෙනත් සම්භාවනීය පොලිස් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය වෙත සුභාශිංශන එක් කළේය. නිල කටයුතු වෙනුවෙන් සහ පෞද්ගලික කැමැත්ත අනුව හින්දි භාෂාව ඉගෙන ගැනීමට ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් දක්වන උනන්දුව සම්බන්ධයෙන් එතුමා සිය ප්‍රසාදය පළ කළේය.

මෙම අවස්ථාව අමතමින් වැඩබලන මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික සහ භාෂාමය සබඳතා වසර දෙදහසක් පමණ පැරණි බව සිහිපත් කළේය. වර්තමානයේ දී හින්දි භාෂාව මෙම බැඳීම් වඩා ශක්තිමත් කරන බව එතුමා ප්‍රකාශ කළේය. ඉන්දියානු රජය ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාලයන් හි හින්දි භාෂාව හැදෑරීම සඳහා සෑම වසරකම ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන බව එතුමා සඳහන් කළේය. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය දිවයින පුරා හින්දි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 10 ක පමණ සහ රජයේ පාසල් 80ක පමණ හින්දි භාෂාව උගන්වන බව ද එතුමා ප්‍රකාශ කළේය. අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය ශ්‍රී ලංකාව තුළ හින්දි භාෂාව සහ සාහිත්‍යය ප්‍රචලිත කිරීම උදෙසා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඉන්දීය ජනාධිපතිතුමා විසින් මෑතකදී ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානයක් වන “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබූ බව ඔහු සිහිපත් කළේය. ශ්‍රී ලංකාව සමඟ පවතින සංස්කෘතික සබඳතා සඳහා ඉන්දීය රජය විසින් ලබාදෙන වැදගත්කම සහ දෙරට ජනතාව අතර බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය දක්වන කැපවීම මෙයින් පිළිඹිබු වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා ලෝක හින්දි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ‍පොලිසිය සඳහා හින්දි භාෂා පාඨමාලාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කළේය. එසේම එතුමා ඉන්දීය රජය සහ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය වෙනුවන් විවිධ අවස්ථාවලදී ලබා දුන් සහයෝගය සඳහා සිය කෘතවේදීත්වය පළ ක‍ළේය. මෙම විශේෂ හින්දි භාෂා වැඩසටහන දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද ඉවහල් වනු ඇති බව එතුමා අවධාරණය කළේය.

ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ හින්දි භාෂාව හදාරන සිසුන් විසින් සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කළ අතර එහිදී ඔව්හු ජනප්‍රිය හින්දි සහ සිංහල ගීත ගායනා කළහ. මෙම වැඩසටහනෙන් අනතුරව හින්දි භාෂා පාඨමාලාවේ පළමු දේශනය පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *