කොළඹ වරායේ නැ’හිර පර්යන්තයේ දෙවැනි අදියරේ ඉදි කිරීම් අද අරඹයි

(ලංකාපුවත් | කොළඹ) –කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) අදියර 2 ඉදි කිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් වැඩි කිරීමේ අරමුණ ඇතිව ඇරඹෙන නැඟෙනහිර ජැටියේ ඉදි කිරීම් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය කිරීමට නියමිතව ඇත.

වරාය අධිකාරයේ අධීක්ෂණය හා ආයෝජන යටතේ නැඟෙනහිර පර්යන්තයේ ඉදි කිරීම් සිදු වන අතර 2024 වර්ෂයේදී ඉදි කිරීම් අවසන් කර, පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් අපේක්ෂිතය‍. මේ පර්යන්තයේ මීටර 400ක් හෝ ඊට වඩා දිගින් වැඩි විශාල බහලු නෞකා තුනක් මෙහෙයවීමට අපේක්ෂා කෙරේ. හෙක්ටයාර 72ක් පුරා ඉදි කෙරෙන පර්යන්තයේ වාර්ෂික ධාරිතාව බහලු විස්සේ සම ඒකක මිලියන 2.4කි.

වරාය නැඟෙනහිර ජැටිය මීට පෙර ඉන්දියාවට දීමට යෝජනා වී තිබුණු නමුත් ඊට වෘත්තීය සමිතිවලින් හා ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල විය. පසුව ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතියක් ඇති පර්යන්තයක් ලෙස සංවර්ධනය කිරීමට 2021 වසරේ පෙබරවාරි මස 01 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *