වැලිකඩ නඩු තීන්දුව : රංගජීව නිදහස් – එමිල් රංජන්ට මරණ දඬුවම

(ලංකාපුවත් | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරය තුළදී 2012 වසරේදී සිරකරුවන් 27 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (12) මරණ දණ්ඩනය නියම කළේය.

එම සිද්ධියේම විත්තිකරුවකු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද එම මඬුල්ල ඒකමතිකව තීරණය කළේය.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගට ගැනිණි.

මෙම සිද්ධියේ පළමු විත්තිකරු වූ නියෝමාල් රංගජීව යන අයට අදාළව සියලු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත්වීම මත ඔහු නිදොස් කොට නිදහස් කරන ලද අතර දෙවැනි විත්තකරු වූ එමිල් රංජන් ළමාහේවා යන අය බන්ධානාගාර සිරකරුවකු වු කොණ්ඩ අමිල යන අය පැහැර ගැනීමේ චෝදනාවට වරදකරු කළ අධිකරණයට ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.

අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවාදමා, ආසනවලින් නැඟිට මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරු විසින් සිය අතැති පෑන කඩා දමනු ලැබිණි. මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් වූ පසුව ළමාහේවා මහතා පැවසුවේ තමන් මෙම සිද්ධියට නිර්දෝෂි බවයි.

2012 වසරේ නොවැම්බර් මස 09 වැනි දින වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි රඳවා සිටි සැකකරුවන් 8 දෙනකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා තිස් තුනක් යටතේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව හා බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරී ඉන්දික සම්පත් යන විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2019 වසරේ මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගොනුකර තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් 2012 එකොළොස්වැනි මාසයේ නව වැනිදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවීම තහනම් භාණ්ඩ සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතරතුරදී සිරකරුවන් පිරිසක් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා එහි තිබූ ගිනි අවි සියතට ගෙන කලහකාරී ලෙස හැසිරී තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් කළ දැනුම් දීම අනුව එදින මධ්‍යම රාත්‍රියේ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා නිලධාරීන් කැරැල්ල මැඩ පවත්වා සිරකරුවන් භාරයේ තිබූ ගිනි අවි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන්ට භාර දී තිබූ බවට පැමිණිල්ලේ සටහන් වී තිබිණි.

පසුදින එනම් දහ වැනිදා අලුයම හතරට පමණ සිවිල් ඇඳුමින් සැරසී පළමුවැනි විත්තිකාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි සිටි දෙවැනි විත්තිකාර එමිල් රංජන් හා තුන්වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි නිලධාරී ඉන්දික සම්පත් නමැත්තා සමඟ එක්ව යුද හමුදා නිලධාරීන් විසින් ඒ වන විට දණගස්වා සිටි සැකකරුවන් අතර තවත් සිරකරුවන් අසලට ගොස් ඇති බව පැමිණිල්ල මගින් අධිකරණයට දන්වා තිබිණි.

ඔවුන් එලෙස දණ ගසා සිටි සිරකරුවන් අතර සිටි කිහිප දෙනකුගේ නම් සඳහන් කරමින් ඔවුන්ව තෝරාගෙන බන්ධනාගාර භූමිය තුළ පිහිටි කාර්මික ඒකකය දෙසට රැගෙන යාමෙන් අනතුරුව විටින් විට වෙඩි හඬ නැගුණු බව පසුව එලෙස රැගෙන ගිය සිරකරුවන් දෙනකුගේ මළ සිරුරු දක්නට ලැබුණු බවත් පැමිණිල්ලේ කියැවිණි.

මෙම සිද්ධියට අදාළව නඩුව 2019 වසරේ සිට විභාගයට ගැනුණු අතර එහි තුන්වන විත්තිකරුවකු ලෙස නම් කර සිටි බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරී ඉන්දික සම්පත් නමැත්තා 2020 ජුලි මස 15 වන දින විත්තියේ සාක්ෂි නොකැඳවා ම ඔහුට එරෙහිව ඇති චෝදනා අනාවරණය නොවන බවට තීරණය කරමින් අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කර තිබිණි.

අනතුරුව එදින පැමිණිල්ලේ නඩු විභාගය අවසන් වූ අතර පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවන් තිස් පස් දෙනෙකුත් නඩු භාණ්ඩ 78 කුත් සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර විත්තියේ නඩුව අගෝස්තු 19 වන දින සිට විභාගයට ගැනිණ.

2021 දෙසැම්බර් මස 10 වන දින විත්තියේ නඩුව විභාග කර අවසන් කිරීමෙන් අනතුරුව තීන්දුව සඳහා 2022 ජනවාරි මස 6 වන දිනට කල් තැබුණු අතර එදින ද නඩුවේ තීන්දුව සකස් කර නොමැති වීම මත ඊයේ දින (12) ජනවාරි දොළොස් වන දින දක්වා තීන්දුව කල් තැබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, නීතිඥ සංජය ගමගේ යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *