ආර්ථික සහ අනෙකුත් අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දෙන බවට ඉන්දියාවෙන් ප්‍රතිඥා

(ලංකාපුවත් | කොළඹ) – අන්තර්ජාතික හවුල්කරුවන් හා එක්ව මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට කැපවන බවට ඉන්දියාව ප්‍රතිඥා දෙයි.

ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා, මේ බව සදහන් කරන ලද්දේ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඊයේ (15) පැවැති මාර්ගගත සාකච්ඡාවකදීය.

පසුගිය මාසයේ රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සාකච්ඡාව සිදු වූ සදහන් කෙරේ.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් කෝටි 150ක සහන ණය ලබා දීම පිළිබඳව සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ. ඒ අතරින් ඩොලර් කෝටි 10ක මුදලක් ඖෂධ හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලලබාගැනීමටත්, ඩොලර් කෝටි 50ක් ඛනිජ තෙල් මිලදී ගැනීමටත් වෙන් කිරීමට නියමිතය.

එසේම මීට පෙර සාර්ක් මුදල් හුවමාරු විධිවිධානය යටතේ ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක සහන ණය මුදල දීර්ඝ කිරීම පිළිබඳව ද සුබවාදීව සිහිපත් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යයවරයා මෙහිදී පැවසීය.

ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ සිට ඇති බවත්, කොවිඩ් වසංගතයෙන් එල්ල වන ආර්ථික සහ අනෙකුත් අභියෝග ජය ගැනීම සඳහා හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් ආචාර්ය ජයශංකර් මහතා ප්‍රකාශ කළේය. සමීප මිතුරන් සහ සමුද්‍රීය අසල්වැසියන් වශයෙන්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටටම සමීප ආර්ථික අන්තර් සම්බන්ධතා වලින් වාසි ලැබෙන බවද එහිදී සිහිපත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සසදහා ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති නැංවීම පිළිබඳවද ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *