ඉදිරි තෙවසර තුළ සියළු පොරොන්දු ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්

(ලංකාපුවත් | කොළඹ) – රටේ ජනතාව ඉදිරියේ වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින් ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර යටතේ ඉදිකෙරුණු මීරිගම සිට කුරුණෑගල දක්වා වන ඇතුගල්පුර පිවිසුම මීරිගමදී විවෘත කිරීමෙන් පසු කුරුණැගල යග්ගපිටිය ප්‍රදේශයේ ඊයේ(15) පැවති උත්සව සභාවට ක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැම විට ම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවට ජනාධිපතිතුමා සහතික විය. තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නො කරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතු වීමට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා එහිදී පැවසීය.

රුපියල් 95කට හෝ වී මිල දී ගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබී ය.

මාධ්‍ය සමඟ තරගයක් නැහැ. අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි. එහිදී සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වන්නැයි ජනාධිපතිතුමා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය. බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නො වී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක් වන ලෙස සියලු ම මහජන නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.
වර්තමානයේ ලෝකය, සමාජය, ඉතා වේගවත් ය. එබැවින් කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දියුණු ප්‍රවාහන පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්වල දියුණුවේ ප්‍රධාන සාධකයක් බවට විධිමත් ප්‍රවාහන පද්ධතිය පත් ව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

අධිවේගී මාර්ග තරම් විවේචනයට ලක් වූ ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. විවේචනය කරමින් අධිවේගී මාර්ගයේ ගමන් කරන අයගේ විවේචනයන්ට වචනවලින් පිළිතුරු දීමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් පිළිතුරු දීම යැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබියදීත් ජනාධිපතිතුමා සංවේදී නායකයෙකු ලෙස ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගත් ආකාරය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිහිපත් කළේය. ඉදිරි වසර තුන තුළ ජනාධිපතිතුමා රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළ ගැන කිසිදු සැකයක් ඇති කර නො ගන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. රටේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කරන අයුරින් ඉලක්කගතව අධිවේගී සහ සෙසු මාර්ග පද්ධතිය සංවර්ධනය කර ජනතාවට භාර දෙන බවට අමාත්‍යවරයා සහතික විය.

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් පැවති පාපැදි ධාවන තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම ජනාධිපතිතුමාගේ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරිණ.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු හා ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *