බස්නාහිර පළාතේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක්

(ලංකාපුවත් | කොළඹ) – බස්නාහිර පළාතේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩ පිළිවෙළක් මෙම මස 28 හා 29 දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව ස්ථාන 40 ක දී එය සිදු කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 17ක්, ගම්පහ ස්ථාන 13ක් හා කළුතර ස්ථාන 10ක් ද පවත්වාගෙන යාමට නියමිතය.

මේ සම්බන්ධව මාධ්‍ය හමුවක් අද (25) මධ්‍යම පරිසර අධිකාරියේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. ඊට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහත්වරු ද සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙවැනි වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද්දේ දැනට භාවිතයට නොගන්නා විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හේතුවෙන් විශාල පාරිසරික හානියක් මෙන්ම මහජන සෞඛ්‍යයට බරපතල බලපෑමක්ද එල්ල වී ඇති නිසා බව පැවසීය.

වාර්ෂිකව විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 95,000ක් පමණ අප රටේ බැහැර කෙරෙන අතර 2021 දී එය මෙ. ටො. 1,21,000 දක්වා ඉහළ යනු ඇතැයි වාර්තාවේ.

එමෙන්ම ජාතික විගණන දෙපාර්තමේන්තුව විසින් 2019 දී නිකුත් කර ඇති වාර්තාව අනුව විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, ආනයනය කෙරෙන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ පාලනය මෙන්ම නව උපකරණ පාලනය සඳහා වැඩ පිළීවෙළක් ඇරඹීම මෙන්ම මේ සම්බන්ධව තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
එම නිසා එම වැඩ පිළිවෙළ කඩිනම් කරන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මහජනතාව අධික මිලක් ගෙවා ලබා ගන්නා විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් පසුව ඒවා අබළන් වුවද ඉවත නොදමා නිවෙස් තුළ රඳවා තබා ගැනීමට කැමැත්තක් දක්වයි. නමුත් මෙම උපකරණවල අන්තර්ගත ඇතැම් විකිරණශීලි ද්‍රව්‍ය නිසා චර්ම රෝග, සමේ පිළිකා, හා වෙනත් රෝගි තත්ත්වයන් ගණනාවක් ඇති වීමේ අවදානමක් පවතී. එමනිසා අක්‍රියව ඇති එවැනි උපාංග නිවෙස් තුළ රඳවා තබා නොගෙන ඒවා මෙම ස්ථානවලට බාර දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.

අක්‍රිය ව ඇති ජංගම දුරකථනවලින් බැහැර කරන ආරෝපිත බැටරි නිසා විශාල ජල දූෂණයක් සිදුවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. පරිසරයට බැහැර කරන ජංගම දුරකථන බැටරියකින් ජල ලීටර් 30,000ක් දූෂණය කිරීමේ හැකියාවක් ඇත. එමනිසා අප විසින් භාවිතා කරන බොහෝ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංගයන් අවිදිමත් ලෙස පරිසරයට බැහැර කිරීම නිසා සිදුවන දැවැන්ත පාරිසරික හානිය හා සෞඛ්‍යමය ගැටළු ඉළක්ක කර ගනිමින් මෙම වැඩ පිළිවෙළට සහායෝගය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *