කොවිඩ්වලට සමාන වයිරස් උණක් පැතිරෙනවා

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් වයිරසයට අමතරව රට තුළ තවත් වයිරස් උණ රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.

ඩෙංගු වයිරසය ඉන් එකක් යැයි ද ඊට අමතරව තවත් වයිරස් උණ රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වයිරසය ඇතුළු සෙසු වයිරස් උණ රෝග සියල්ලගේම රෝග ලක්ෂණ සමාන වන බවත් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යයාව, හිසරදන, ශරීර වේදනාව යනාදි රෝග ලක්ෂණ පොදුවේ මේ වයිරස් උණ රෝගයන් සතු වන බවත් ඒ මහතා කීය.

රෝග ලක්ෂණ සමාන නිසා සායනික වශයෙන් පුද්ගලයන්ට පවතින්නේ කුමන වයිරසයක් ද යන්න හඳුනා ගැනීමට අපහසු වී ඇති බවත් ඒ එක් එක් වයිරස් රෝග හඳුනා ගැනීමට සිදු කළ යුතු පරීක්ෂණයන් එකිනෙකට වෙනස් බවත් හෙතෙම පැවසීය.

කිසියම් පුද්ගලයකුට උණ රෝගයක් පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතු බවත් කොවිඩ් ඇතුළු වයිරස් උණ රෝග පවතින නිසා ප්‍රතිකාර ගැනීමට නොයෑමෙන් පුද්ගලයන්ගේ ජීවිත අවදානමකට ලක් විය හැකි බවත් ඔහු කියා සිටියේය.

විශේෂයෙන්ම මේ වයිරස් රෝගවලින් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ දී ඇති මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදීම අවශ්‍ය බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *