AutoGroup International සමාගම වාහන ක්ෂේත්‍රයේ විසි වසර සපුරයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර විශිෂ්ටත්වය තිලිණ කරන, AutoGroup International සමාගම, මෙරට සිය නිෂ්පාදන ගමන් මගෙහි සුවිශේෂී 20 වැනි සංවත්සරය සනිටුහන් කරයි. ඔස්ට්‍රේලියානු හිමිකාරිත්වය සහිතව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවනු ලැබූ සමාගම, ඉකුත් විසි වසර පුරාම, වමෙන් හසුරුවන ඇමරිකානු වාහන, දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කරමින්, දේශීය හා විදේශීය වාහන වෙළෙඳ පොළ වෙත සිය විශේෂඥ නිපුණත්වය විදහා දක්වා තිබේ.

ජාත්‍යන්තර නිපුණතා ඔස්සේ මෙරට වාහන ක්ෂේත්‍රයට පා තබා වසර 20 ක් පිරීම නිමිත්තෙන්, Auto Group International සමාගම 60 කට අධික නවක කාර්ය මණ්ඩලයක් ඒ වෙත බඳවා ගත් බවට සතුටින් දැනුම් දෙයි. එමෙන්ම, සමාගමේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම පිණිස, ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් සුවිසල් ආයෝජන සිදු කිරීමටත් සැලසුම් කර තිබේ. මීට සමගාමීව, Auto Group International සමාගමේ රුපියල් මිලියන 2 ක ප්‍රදානයක් වන, ‘පීටර් හිල් ශිෂ්‍යත්ව වැඩසටහන‘ද සාර්ථකව දියත් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අති නවීන නිෂ්පාදනාගාරවලින් සමන්විත AutoGroup International සමාගම, ස්වකීය විශිෂ්ට ඉංජිනේරුමය විශේෂඥභාවය විදහා දක්වමින්, මෙරට නිෂ්පාදනාගාරය තුළ ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක, වාහන මාදිලි ගණනාවක්ම, දකුණෙන් හසුරුවන වාහන ලෙසින් පරිවර්තනය කර, මෙරට මෙන්ම, රටවල් 50 කට අධික ප්‍රමාණයකින් සමන්විත විදේශීය වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි. එලෙස පරිවර්තනය කරන වාහන අතරට, සෑම මාදිලියකම ස්පෝර්ට්ස් කාර්, පික්අප් ට්‍රක්රථ, සුඛෝපභෝගී SUV රථ සහ විශේෂ කාර්ය වාහන ආදිය ඇතුළත් වේ.

මේ වන විට සමාගම, Chevrolet Camaro and Silverado, Cadillac Escalade, Lincoln Navigator, Ford F150, F250 and F350, Ford Bronco, Dodge RAM and Challenger, GMC Yukon, Denali and Sierra, Hummer H2 සහ H3 යන මාදිලි මෙන්ම ජපන් හා Toyota Tundra වැනි උතුරු ඇමරිකානු මාදිලිවල වාහන සඳහා මෙලෙස අගය එකතු කිරීම් සිදු කරමින්, ගෝලීය ප්‍රමුඛයකු බවටද පත්ව සිටියි. තවද, දේශීය විදේශීය තොග හා සිල්ලර වාහන පාරිභෝගිකයින් වෙනුවෙන්, වාහන මිලදී ගැනීම, පවතින වාහන වෙනස් කිරීම මෙන්ම ලොව පුරා නැව්ගත කිරීම් හා රක්ෂණ කටයුතු සිදු කරමින් ක්ෂේත්‍රයට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකාව තුළ වසර 20 ක සුවිශේෂී ගමන් මග පිළිබඳව අදහස් දක්වමින් AutoGroup International සමාගමේ නිර්මාතෘ හා සම සභාපති පීටර් හිල් මහතා මෙලෙස සඳහන් කරයි.

“වසර 20 කට පෙර ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර, පසුගිය කාලය ඇතුළත මෙය සාර්ථක ව්‍යාපාරයක් දක්වා ගෙන ඒමට අපට හැකියාව ලැබුණා. මෙම කාලය තුළ අපට අභියෝග රාශියකට මුහුණ දීමටත් සිදු වුණා. ඒ සෑම අභියෝගයක්ම ජය ගනිමින් මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට අපට හැකියාව සැලසුණේ, ජාත්‍යන්තර මට්ටමේ නිපුණතාවලින් සමන්විත අපගේ ශ්‍රී ලාංකීය කණ්ඩායම නිසයි.“

Auto Group International සමාගමේ විධායක සම සභාපති රොබ් හිල් මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“මගේ පියා වෙතින් මෑතකදී රාජකාරි භාර ගැනීමෙන් පසු, සමාගමේ අභිවෘද්ධිය උදෙසා නවක සාමාජිකයින් 60 දෙනකු බඳවා ගත්තා.ඒ වගේම, තවදුරටත් ඩොලර් මිලියන ගණනින් ආයෝජන සිදු කර සමාගම ශ්‍රී ලංකාව තුළ තව තවත් දියුණු කිරීම සඳහා අපි සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටිනවා.“

දේශීය විදේශීය වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින්, ඇමරිකානු වාහන සඳහා අගය එකතු කිරීම් සිදු කිරීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ Auto Group International සමාගම පිහිටුවා ගනු ලැබිණි. අති-නවීන පහසුකම්වලින් සමන්විත එහි නිෂ්පාදනාගාරය පාරිභෝගිකයින්ට පහසුව අත්කර දෙමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හා කොළඹ වරායනගරයටනුදුරු කඩුවෙල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ. ISO 9001 2015 ප්‍රමිති සහතිකය සතු Auto Grop International එහි නිෂ්පාදන අනුකූලතාව පිළිබඳ වන Austrailian Design Rules (ADR) සහතිකයද හිමි කරගෙන ඇති සමාගමකි. කඩුවෙල පිහිටි අති-නවීන නිෂ්පාදනාගාරය වෙල්ඩින්, සැලසුම් නිර්මාණය, ෆයිබර් ග්ලාස් සහ ප්ලාස්ටික්, අපෝල්ස්ටර්, ලෝහ තහඩු, ඔටෝ ඉලෙක්ට්‍රිකල් හා මෝටර් කාර්මික යන අංශවලින් ක්ෂේත්‍රයේ නිපුණ, ඉංජිනේරු හා පර්යේෂණ කණ්ඩායමකින් සමන්විත වෙයි.

ගත වූ වසර 20 තුළ, Auto Group International මෙරට කුසලතාවන්ගෙන් පරිපූර්ණ සාමාජිකයින් සිය ගණනකට රැකියා ලබා දෙමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබේ. එකී ශ්‍රම බලකාය තවදුරටත් වර්ධනය කර ගන්නා අතරම, සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් ආයෝජනය කිරීම Auto Group International සමාගමේ අනාගත සැලසුමයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *