සම්මුතිවාදී රජය බිහි කිරීමට හේතුවූ මැතිවරණයට අදට වසර දෙකයි

(කොළඹ, ලංකාපුවත්) – නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය රටට උදා කිරීමේ අරමුණින් ස්ථාපිත කළ සම්මුතිවාදී ආණ්ඩුව බිහිකිරීමට හේතුවූ මැතිවරණය පවත්වා අදට(17) වසර දෙකක් සපිරේ.

පසුගිය 2015 වසරේ අගෝස්තු 17වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩිම ආසන ගණන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ දිනා ගැනීමට සමත් විය. එම ආසන සංඛ්‍යාව 106කි.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 95ක් දිනා ගනු ලැබීය.

ආණ්ඩුවක් පිහිටුවීම සදහා කිසිදු දේශපාලන පක්ෂයක් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා නොගැනීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කෙරුණි.

ඒ අනුව රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකරමින් කලාපයේ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැණුනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 ජනවාරි 08වනදා ඇති කළ දේශපාලන පෙරළිය තවත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ යහපාලනය සාක්ෂාත් කර ගැනීමේ හැරවුම් ලක්ෂයක් බවට අගෝස්තු 17වනදා දිනය ද පත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *