මම කිසි ම දේශපාලන චරිතෙකට මඩ ගහලා නෑ

තමන්ගේ හඬෙහි ගැබ් වුණු වාසනා ගුණයෙන් විවිධ චරිතවල හඬ අනුකරණය කර, ජනතා හදවත්වල නම රැන්දූ ඔහු, ITN Yoth With Talent රියැලිටියට පෑයූ තවත් එක් දිදුලන තරුවකි. තරගකරුවන් 53, 657ක් එක්ක කරට කර තරග කර, අනුශූරතාව දිනාගත් ශෂික දියමන්ත සමරසිංහ, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කියනවා නම්, සමරෙත් එක්කයි මේ කතාබහ.

* ලැබුණු ජයග්‍රහණය ගැන දැනෙන සතුට කොයි වගේද?

 

බොහොම සතුටුයි. ඇත්තටම හිතුවෙ නෑ. අපි කටින් වැඩ පෙන්නුවේ. එක එක විදිහෙ දක්ෂතා තිබුණ අය හිටියා. සමහරු තරගෙ වෙනුවෙන් ලොකු අවදානමක් ගත්තා. වෙලාවකට ජීවිතේ පවා අවදානමේ දාලා තරග කළේ. අනිත් අය කරපු කියපු දේ එක්ක අපට මේ තරම් ප්‍රසිද්ධියක් ලැබෙයි කියලා හිතුවෙ නෑ. එස්. එම් .එස් .වැඩි ම අපට කියලා විනිශ්චය මණ්ඩලය කිව්වා.

* පෞද්ගලික විස්තර ටිකක් කියමුද?

මම ඉන්නෙ මහනුවර. වයස අවු 20යි. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා. ඒ ගමන් කලා කටයුතුත් සමබරව කරගෙන යනවා. මං තමයි පවුලේ එක ම දරුවා. අම්මා මහමායා විද්‍යාලයේ ගුරුවරියක් විදිහට වැඩ කරනවා. තාත්තත් ගුරුවරයෙක්. එයා කිංග්ස්වුඩ් විද්‍යාලයේ.

* ITN Youth With Talent එකට එන්න කලින් ම ශෂික සමාජ මාධ්‍යවලින් ජනතාව අතරට ගිහින් හිටියේ. හිතෙන්නෙ නැද්ද දෙවැනි තැන දිනන්න උදවු වුණේ ඒ ලබාගත්ත ප්‍රසිද්ධියයි, ජනප්‍රියත්වයයි කියලා?

සමාජ මාධ්‍යවලින් යම් කිසි ප්‍රසිද්ධියක් ලබලා තිබුණා. ඒත්, ITN Youth With Talent එකේදි ආව වීඩියෝ ටිකත් එක්ක ඒ ප්‍රසිද්ධිය දෙගුණ තෙගුණ වුණා. කලින් මගෙ සමාජ මාධ්‍යවල ගිය වීඩියෝ එකකවත් ප්‍රේක්ෂකාගාරයක් තිබුණෙ නෑනේ. Youth With Talent එකේදි මං වටා විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදුනා.

* බොහොම සියුම් විදිහට, වෙනසක් නොදැනෙනන ගානට තව කෙනෙක් අනුකරණය කිරීමේ සහජ හැකියාවක් ශෂිකට තියෙනවා. ඒ හැකියාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න ආව උදවියත් ඉන්න ඇති නේද?

ඔව් හිටියා. දැනටත් ඉන්නවා. එක එක චරිතවලට මඩ ගහන්න, මගේ කටහඬ යොදාගන්න උත්සාහ කරපු අය ඕන තරම් හිටියා. සමහරු කතා කරලා ප්‍රසිද්ධ චරිතවලට මඩක් ගහන්න පොඩි වීඩියෝ එකක්, සිංදුවක් කරන්න මගෙන් වොයිස් කට් ඉල්ලුවා. ඒත් මං කවදාවත් ඒ වගේ දේ කළේ නෑ. ඒ වගේ ම කරන්නෙත් නෑ. මේ හැකියාවෙන් කාටවත් හානියක් වෙන විදිහට අයුතු ප්‍රයෝජන ගන්න මං කැමැති නෑ . ඒ විදිහට එන යෝජනාවලින්, ඉල්ලීම්වලින් බොහොම අමාරුවෙන් බේරිලා හිටියා සහ දිගට ම ඒ විදිහට බේරිලා ඉන්නවා.

* ප්‍රබල දේශපාලන චරිත හාස්‍යජනක විදිහට අනුකරණය කරනකොට එල්ල වුණු තර්ජන , ගර්ජන, විවේචන ගැන මොනවද කියන්න තියෙන්නෙ?

එහෙම දේ තිබුණෙ නෑ. මං අනුකරණය කරපු බොහෝ දේශපාලන චරිත මට මුණගැහිලා තියෙනවා. ඒ කවුරුවත් මට වචනෙකින්වත් වැරැද්දක් කියලා නෑ. ඒ වෙනුවෙන් මං ඒ හැම කෙනෙක්ට ම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනැ. ඒ අය විරුද්ධ වෙලා බලපෑම් කරන්න පටන්ගත්තා නම්, මට කවදාවත් මේ වැඩේ දිගට අරන් යන්න ලැබෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි, අර චරිතෙ කරන්න එපා, මේ චරිතේ කරන්න එපා කියලා ITN එක රජයෙ නාලිකාවක් වෙලත් මට කවදාවත් කියලත් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *