සියවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශයට ඓතිහාසික ජයක්

පී. සරා ඕවල් පිටියේදී ඊයේ නිමාවූ දෙවැනි අවසන් ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 18ක් පවත්වා බංග්ලාදේශය ලැබූ පළමු ජයග්‍රහණය මෙයවීම ද තවත් විශේෂත්වයකි. බංග්ලාදේශය සියවැනි ටෙස්ට් තරගයෙන් ජයගනිද්දී ශ්‍රී ලංකාව වසර 2000දී පාකිස්තානය සමග එස්. එස්. සී පිටියේදී පැවැති සියවැනි ටෙස්ට් තරගයෙන් පරාජයවූ ඉතිහාසයක් ඇත. සනත් ජයසූරිය නායකත්වය දැරූ එම තරගයේදී වසීම් අක්‍රම් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ නියමුවා බවට පත් විය. ටෙස්ට් වරම් දිනාගත් රටවල් අතුරින් තම සියවැනි වැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්ව ඇත්තේ ඕස්ට්‍රේලියාව, කොදෙව් දූපත් හා පාකිස්තානය පමණි.

මෙම දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය ජාතික විනිසුරු එස්. රවී මහතා පිතිකරුවන් දැවී ගිය බවට අවස්ථා 12කදී ඇඟිල්ල ඔසවා තීරණ ලබාදුන් අතර එයින් 8ක්ම වැරදි තීරණ බව රූපවාහිනී පුණරූපන මගින් තහවුරුවීම කැපී පෙනුණි. ඔහුගේ තීරණ 4ක් පමණක් නිවැරදි බවට රූපවාහිනී විනිසුරු තහවුරු කළේය. එහෙයින් දෙවැනි ටෙස්ට් තරගයේ විනිශ්චය මතභේදකාරී තත්ත්වයකට පත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී ලකුණු 338ක් ලැබූ අතර බංග්ලාදේශය ලකුණු 467ක් ලබා පළමු ඉනිමේ ලකුණු 129කින් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී ලකුණු 319කට සීමා විය. එබැවින් ජයග්‍රහණය සඳහා ලකුණු 191ක ඉලක්කයක් බංග්ලාදේශයට එල්ලවූ අතර ඕවර් 57.5කදී කඩුලු 6ක් දැවී ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

තේ පානයෙන් පසුව ඕවර් 11.5ක් යවද්දී මෙහෙදී මිර්සා ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ටමීම් ඉක්බාල් හයේ පහරක් හා හතරේ පහර 7ක් සමග පන්දු 125කදී ලකුණු 82ක් ලබාගත් අතර, සබීර් රෙහ්මාන් ලකුණු 22ක් ලබා ගත්තේය. තරගාවලියේ වීරයාට හිමි සම්මාන දෙකක් පිරිනැමුණු අතර රංගන හේරත් හා ෂකීබ් අල් හසන් එම සම්මානවලට හිමිකම් කීහ.

පෙරේදා තරගයේ සිවුවැනි දිනය නිමා වන විට කඩුලු 8 කට ලකුණු 268 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ 9වැනි කඩුල්ල වෙනුවෙන් සුරංග ලක්මාල් හා දිල්රුවන් පෙරේරා ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. මේ දෙදෙනාගේ සම්බන්ධතාව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු බංග්ලාදේශ පිලට එරෙහිව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සම්බන්ධතාව විය.

පන්දු 174කට මුහුණ දුන් ඩිල්රුවන් පෙරේරා ලකුණු 50කට දුවද්දී දැවී යෑම ශ්‍රී ලංකාවට අවාසිදායක අවස්ථාවක් විය. තම සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය ලැබූ දිල්රුවන් ඉවසිලිවන්තව තවත් ඕවර් කිහිපයක් කඩුල්ලේ රැදී සිටියේ නම් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත්වනු ඇත. අර්ධ ශතකයට හතරේ පහර 6ක් එල්ල කළ දිල්රුවන් ‘ෂෝට් ස්කුවෙයාර් ලෙග්‘ හී සිටි සුබාෂිස් රෝයිට නිසි ලෙස පන්දුව රැකගැනීමට නොහැකි වූ අවස්ථාවේ ලකුණක් සොරාගැනීමට ගියද එම උත්සහය වැරදී ගොස් පන්දු යවන්නාගේ අන්තයේදී දුවද්දී දැවී ගියේය.

එම දැවී යෑමත් සමග සුරංග ලක්මාල්ට තව දුරටත් ඉදිරියට යෑමට සාර්ථක පිතිකරුවෙකු නොමැති බැවින් වේගයෙන් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹිණි. සකීබ් අල් හසන්ගේ පන්දුවකට වේගයෙන් පහර එල්ල කරද්දී ‘ලෝන්ග් ඕෆ්‘ හී සිටි හොසේන් වෙත උඩ පන්දුවක්දී තම මංගල ටෙස්ට් අර්ධ ශතකයට ලකුණු 8ක් අඩුව තිබියදී දැවී ගියේය.

ශ්‍රි ලංකාව වෙනුවෙන් ලකුණු 126ක් ලබාගත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තම 5වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර පන්දු 244කට මුහුණදී හතරේ පහර 10ක් හා හයේ පහරක් එල්ල කළේය. දිමුත් හා කුසල් එක්ව 2වැනි කඩුල්ලට ලකුණු 86ක සම්බන්ධතාව ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් දෙදනකු අතර හොදම ලකුණු එකතුව විය. කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලැබීය.

දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය මේ 26වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ඇරඹේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *