මෙවර සා.පෙළ සමත්වීම ඉහළ මට්ටමක

(කොළඹ, ලංකාපුවත්) – මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමේ ප‍්‍රතිශතය සෙසු වසර සමඟ  සංසන්දනය කිරිමේ දී ඉහළ මට්ටමක පවතින බවත් ගණිතය වැනි විෂයයන් සමත්වීමේ ප්‍රතිශතයන් ද ඉහළ මට්ටමක පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් තමා වෙත දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (28) සඳහන් කළේය.

2016 අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි ඔබට එහි ප‍්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදීමට හැකිවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා ද සතුටට පත් වන බව සඳහන් කරන අමාත්‍යවරයා ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම හරහා ඔබේ ජීවිතය තුළ වැදගත් තීරණ රැසක් ගැනීමට ඇති කාලය අපතේ නොයවා හොඳින් නිරීක්ෂණය කළ අතර, හැකි ඉක්මනින් ප‍්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත‍්‍රණය සැකසීමට ඒ අනුව පියවර ගත් බව ද සඳහන් කරයි.

ඒ අනුව මෙම කටයුත්තට දායක වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයටත්, පිළිතුරු පත‍්‍ර ඇගයීමේ ක්‍රියාවලියට සම්බන්ධ වු සියලු නිලධාරින්ටත් අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පිරිනමා තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“අද දිනයේ (සා. පෙළ) විභාගය ඉහළින්ම සමත් වූ  දරුවන් මෙන්ම වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුළ පවත්නා විභාග කේන්ද්‍රීය ක‍්‍රමවේදයන් හරහා ඉහළම ප‍්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් වූ දරුවන් ද සිටින බව සමාජ යථාර්ථයයි.

විභාගයේ ඉහළම ප‍්‍රතිඵල ලැබූ අතිදක්ෂ දරුවන් ඉදිරියේ දී මේ මවුබිමට විශාල මෙහෙවරක් ඉටුකිරීම වෙනුවෙන් කැපවනු ඇතැ’යි මා අපේක්ෂා කරමි. (සා.පෙළ) විභාගයට වඩා උනන්දුවෙන් (උ.පෙළ) කඩඉම ද ජය ගැනීම සඳහා කටයුතු කරන්නට ඔබට හැකිවේවා!යි මම ප‍්‍රාර්ථනය කරමි. එමෙන්ම විභාගයෙන් ඉහළ ම සාමාර්ථ ලබා ගැනීමට නොහැකි වූ නමුත් විවිධ විෂය පරිබාහිර දක්ෂතා දැක්වූ නිර්මාණශීලී දරුවන් රැසක් ද අපේ අධ්‍යාපන පද්ධතිය තුළ සිටින බව රජයක් ලෙස අප හොඳින් හඳුනාගෙන සිටින්නෙමු.

එබැවින් එම දරුවන්ගේ දක්ෂතා සහ කුසලතා මෙන්ම නිපුණතාවන් රටේ අනාගතයේ උන්නතිය වෙනුවෙන් සකි‍්‍රය ලෙස ලබා ගැනීම සඳහා වඩාත් තීරණාත්මක අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රැසක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇත.  13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන ඉන් එක් නිදසුනකි. එම වැඩසටහන මේ වසරේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අප බලාපොරොත්තුවන බව ද සතුටින් දැනුම් දෙන්නෙමු. එය 2019 වසරේ සිට සමස්ත පාසල් අධ්‍යාපන පද්ධතියම ආවරණය කරමින් දියත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටියි.

මීට අමතරව (උ. පෙළ) හදාරන සිසු දරුදැරියන්  1,75000 ක් සහ ගුරුවරුන් 28000 ක් වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනේ දී ද එහි මුල්ම ප‍්‍රතිලාභීන් වන්නේ  අද දින ප‍්‍රතිඵල ලබා උසස් පෙළ හැදෑරීමට පාසල්වලට ඇතුළත් වන ඔබ බවද සතුටින් මතක් කර දෙමි.

නොමිලේ ඔබට ලැබෙන නිදහස් අධ්‍යාපනයේ සෙවන ලබමින් වර්තමාන ගෝලීය සමාජය තුළ විනය, හික්මීම හා නවෝත්පාදනයන් කැටි වූ නිර්මාණශීලීත්වය පෙරටු කර ගත් යහපත් පුද්ගලයෙකු ලෙස කටයුතු කිරිම ඔබේ ඒකායන අරමුණ විය යුතුය. මව්පියන්ට වැඩිහිටියන්ට සහෝදර සහෝදරයින්ට ගරු කරන ගුණගරුක දරුවෙකුට කිසිදු අගතියක් සිදු නොවන බවත් ඔබ හොඳින් මතක තබා ගත යුතුය. වර්තමාන ලෝකය, විවිධ සමාජ ක‍්‍රමයන්ගෙන් යුක්ත බවත්, අධ්‍යාපනය දැනුම සහ නිපුණතාවන් එම සමාජ ක‍්‍රමය තුළ ඔබව ඉහළට ඔසවා තබන බවත්  ඔබ හොඳින් අවබෝධ කර ගත යුතු වැදගත්ම කරුණකි.

ඔබට ශ්‍රී ලාංකේය  නාමය ලොව තුළ බබළවන්නට ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබේවා!යි  ප‍්‍රාර්ථනය කරමි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *