නවීකරණය කරන ලද කටුනායක ගුවන් පථය අද සිට විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථය අද (06) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

අද දහවල් 12 ට ගුවන් පථය විවෘත කරනු ඇත. ඒ අනුව ලොව විශාලතම ගුවන් යානා වන, ඒ 380 පවා ගොඩබැස්සවීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙම ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 750කි.  ධාවන පථයේ නවීකරණ ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 06 වැනිදාය.

මීටර් 3,375 දිගින් යුත් ධාවන පථය ලෝකයේ නවීණ තාක්ෂණික ක්‍රම රැසක් උපයෝගී කරගෙන නවීකරණය කිරීම විශේෂත්වයකි.

ප්‍රතිසංවර්ධනය කරන ලද ධාවන පථයට ප්‍රථමයෙන් පැමිණෙන්නේ ශ්‍රී ලංකන්ගුවන් සමාගමට අලුතින් මිලදී ගන්නා ලද යූ.එල් 1162 දරන ගුවන් යානයයි.

කටුනායක ගුවන් තොටුපොළ දිනකට ගුවන්යානා 175ක් 180ත් අතර සංඛ්‍යාවක් මෙහෙයවන අතර වාර්ෂිකව හසුරුවන ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 6කට අධිකය.

එසේම නව මගී පර්යන්තයක් ඉදිකෙරෙන අතර 2019 වසරේ එයි විවෘත කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපොළ දෙවැනි වන්නේ සිංගප්පූරුවට පමණක් බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවීකරණ කටයුතු හේතුවෙන් වසා දැමුණු ගුවන් තොටුපලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවේ කටයුතුද අද සිට යළි ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *