ජාතික මට්ටමේ තරඟවලින් පදක්කම් දිනන ඌවේ ක්‍රීඩකයින්ට දෙන ත්‍යාග මුදල් දෙගුණයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාතෙන් ජාතික මට්ටමේ තරඟවලින් ජයග්‍රහනය කරන  රන්,රිදී,ලෝකඩ පදක්කම්  සඳහා දැනට ගෙවන ත්‍යාග මුදල දෙගුණයක් දක්වා  වැඩි කිරීමට තමා  අනුමැතිය දුන් බව ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතා පැවැසීය.

ඔහු මේබව කීවේ වැල්ලවාය හමුදා කඳවුර පැවැති ක්‍රීඩාංගණයේ පැවැති වාර්ෂික වර්ණ ප්‍රධාන  උත්සවයේදීය.

පසුගිය පළාත් සභා සැසිවාරය ආරම්භ කිරීම් අවස්ථාවේදී තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී ඉහත සඳහන් පරිදි ජාතික මට්ටමේ තරඟවලින් දිනන ක්‍රීඩකයින්ට  ප්‍රදානය කරන ත්‍යාග මුදල්  වැඩි කරන බව සඳහන් කළ බවත්, එය ඒ අයුරින්ම ඉටු කිරීමට හැකි වූ බවත් වැඩිදුරටත් පැවැසීය.

පළාත් ක්‍රීඩා ක්ෂේත්‍රයෙ දියුණුවට  ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය  චාමර සම්පත් දසනායක මහතා දඩි උනන්දුවෙන්  ක්‍රියා කළ බව සඳහන් කළ යුතුයි. එසේම  පළාත් ක්‍රීඩා අමාත්‍ය  සාලිය සුමේදධ සිල්වා මහතාද ඒ සඳහා කැපවිමෙන් ක්‍රියාකරනවා.

ත්‍යාග මුදල් ලබා දීමෙන් ක්‍රීඩකයින් අගය කිරීමට හා ඔවුන් දිරිමත් කිරීමට අපේක්ෂා කරනවා. ජාතික මට්ටමේ ජයග්‍රහණ අනුව හත්වන ස්ථානය පත්ව ඇති  ඌව පළාත පළවන ස්ථානයට ගෙන ඒම අපගේ අපේක්ෂාවයි. ඒ සඳහා පළාතේ දරු දැරියන්ගේ  කැපවීම හා උනන්දුව  තිබිය යුතුයි. ඉදිරියේදී ඌව පළාත  ක්‍රීඩා ‍ක්ෂේත්‍රයේ ඉහළම ජයග්‍රහන ලබා ගැනීමට  හැකිවේවායි විශ්වාස කරනවා.

2016 පැවැති ජාතික මහා ක්‍රීඩා උළලේදී ඌව පළාතට පදක්කම් 61 දිනා ගැනීමට හැකියාව ලැබී ඇත. එහිදී බොක්ෂින්වලින්  ආර්.එම්.පී. ධර්මසේනත්, වේගවත්ම ධාවනශූරිය ලෙස එස්.එල්. විදානදුරුගේ පළාතේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස  ලැබූ ජය වෙනුවෙන් ආණ්ඩුකාරතුමා වෙතින්  ත්‍යාග හා පදක්කම් ලබා ගන්නා ලදි. 2015 වසරට  වඩා වැඩි ප්‍රමාණයක් 2016 ජාතික ක්‍රීඩා උ‍ළලේදී ඌව පළාත  ක්‍රීඩක, ක්‍රිඩිකාවන් ජයග්‍රහණය කර තිබීමද විශේෂත්වය විය.

මේ අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් ක්‍රීඩා අමාත්‍ය සාලිය සුමේධ ද සිල්වා, ඌව පළාත් සභානායක සුදර්ශන දෙනිපිටිය, ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්. අබේසුන්දර මිය, පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.එම්.එස්. අබේසිංහ බණ්ඩා, ආණ්ඩුකාර ලේකම් එච්.එම්. සෝමතිලක ඇතුළු  නිලධාරි සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *