බංග්ලාදේශයට ලකුණු 45ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කළ බංග්ලාදේශය ටෙස්ට් හා එක්දින තරගාවලි දෙක සේම විස්සයි 20 තරගාවලියද 1-1ක් ලෙස සමකර ගත්තේය.

විස්සයි 20 තරග බිමෙන් සමුගන්නා බංග්ලාදේශ ක්‍රිකට් නායක මස්රෆී මෝටර්සාට ගෞරවයක් පිණිස මේ තරගය ජයග්‍රහණය කිරීම එකම අරමුණ කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී ඕවර් 20කදී කඩුලු 8කට ලකුණු 176ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව ඕවර් 18කදී සියලු දෙනා දැවී ලකුණු 131කට සීමා විය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලැබූ චාමර කපුගෙදර තම 43වැනි විස්සයි 20 තරගයේදී මුල්ම අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 35කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමග ලකුණු 50ක් ලැබීම හා ලසිත් මාලිංග විස්සයි 20 අන්තර්ජාතික ක්‍රීකට් බිමේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පස්වැනි පන්දු යවන්නා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වීම කැපී පෙනෙන සිදුවීම් විය.

මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී, නවසීලන්තයේ ජේකොබ් ඕරාම් හා ටිම් සවුතී, පසුගිය වසරේදී ඉන්දියාවේ රංචිහීදී තිසර පෙරේරා විස්සයි 20 කඩුලු ත්‍රිත්ව ලබා ගත්හ.

දිනයේ විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග තම සිවුවැනි ඕවරයේදී පිට පිට කඩුලු තුන දවාලීමෙන් බංග්ලාදේශ ලකුණු වේගය පහළ වැටුණි. ලකුණු පුවරුව 169 වෙද්දී ලකුණු 15ක් ලබාසිටි මුෂ්ෆිකර් රහීම්ගේ හා අවසන් විස්සයි 20 තරගයට ක්‍රීඩා කළ නායක මෂ්රාෆි මොර්ටසාගේ ඉනි ගලවා දැමූ මාලිංග, විස්සයි 20 වරම් දිනාගත් මෙහෙදි හසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර කඩුලු ත්‍රිත්වය වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත් හා දිල්ෂාන් මුණවීර පිටියට පිවිස කුසල් මුල්ම පන්දුවට හතරේ පහරක් ලබා සකීබ්ගේ දෙවැනි පන්දුවට කඩුල්ල පූජා කොට ක්‍රීඩාගාරයට හැරී ගියේය. මුණවීර වැඩි වේලාවක් නොසිට ලකුණු 4කට දැවී ගිය අතර පන්දු 21කදී හතරේ 3ක් සමග ලකුණු 21ක් ලබාසිටි උපුල් තරංග ලකුණු 23කට දැවී ගිය අතර මෂටර්ෆිසුර් රෙහ්මාන්ගේ පිට පිට පන්දු දෙකකදී අසේල ගුණරත්න හා මිලින්ද සිරිවර්ධන ලකුණු නොදීම දවා ගැනීම බංග්ලාදේශ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය විය.

පස්වැනි කඩුල්ලට පන්දු 45කදී ලකුණු 58ක සම්බන්ධතාවක් කපුගෙදර හා තිසර එක්කොට ශ්‍රී ලංකාවට යම් සහනයක් ලැබුණු අවස්ථාවේ තිසර සකීබ්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී රහීම් කඩුල්ල බිඳ දැමීමෙන් ලකුණු 27කට දැවී ගියේය. ඒ වෙද්දී තිසර පන්දු 22කදී හතරේ පහර 3ක් සමග ලකුණු 27ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් සිවුදෙනකු ලකුණු 11ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *